Home / සෞඛය / කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

කෘමිනාශක එළවළු පිරිසිදු කරගත යුතු ආකාරය

2017-07-24 10:09:00       855
feature-top
 උපදෙස් - පොලිස් හා යුධ හමුදා රෝහල් හි පෝෂණවේදී

වරලත් රසායනාඥ, පෝෂණවේදීන්ගේ සංගමයේ සභාපති

එස්.එම්.එස්.හෙට්ටිගෙදර

එදිනෙදා ජීවිතයේදී අපි පරිභෝජනයට ගන්නා ආහාර ද්‍රව්‍ය අතර එළවළු සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. එළවළු වූ කලී බෝ නොවන රෝග මෙන්ම හෘද රෝග, රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුව, පිළිකා වැනි රෝග රැසක් වළක්වා ගැනීමට මඟපාදන ආහාරයකි. ඒ නිසා එළවළු නිරන්තරයෙන්ම අප ආහාර වේලට එකතු කර ගත යුතුය. තවද එළවළු මඟින් ශරීරය තුළ ඇතිවිය හැකි ස්නායු සම්බන්ධ රෝග මෙන්ම මානසික රෝග සඳහා ද යෝග්‍ය වේ. ඒ බව පර්යේෂණ මඟින් හෙළිදරව් වී ඇත. කෙසේ නමුත් වර්තමානයේ ප්‍රධාන ආහාරවේල් සඳහා එළවළු එක් කර ගැනිමේදී බොහෝ දෙනෙක් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බව නොපෙනේ.

එයට හේතු කිහිපයකි. එනම් සමාජයේ පවතින අධික කාර්යබහුලත්වය නිසා එළවළු එක් කර ගැනීමට ඇති නොහැකියාව, දෙවැන්න එළවළු මිල ගණන් දිනෙන් දින ඉහළ යාම සහ එළවළු වර්ග කෑමට දක්වන අකමැතිකම එලෙසම වර්තමානයේ එළවළු වගා කිරීමේදී අධික ලෙස එළවළු සඳහා යොදන කෘමිනාශක භාවිතය යන කරුණුය. මේ අතරින් බොහෝදෙනෙකු එළවළු ආහාරයට එක්කර ගන්නට මැලිකමක් දක්වන්නේ එළවළු සඳහා කෘමිනාශක යොදා තිබීමයි. විශේෂයෙන්ම අමුවෙන් සලාද වර්ග ලෙස ආහාරයට එක්කර ගන්නා එළවළු කෘමිනාශක යොදා තිබීම නිසා ඒවා ආහාරයට එක්කර ගැනීමට ජනතාව මැලිකමක් දක්වයි. එසේ නම් කෘමිනාශක යෙදූ එළවළු නිවැරදි ලෙස ශරීරයට උචිත ලෙස පරිභෝජනයට එක් කරගත යුත්තේ කෙසේ දැයි විමසා බැලීම මේ ලිපියේ අරමුණයි.

බොහෝවිට එළවළු වර්ග වගා කිරිමට පාවිච්චි කරන ඇට වර්ගවල සිට එය වර්ධනය වී අප ආහාරයට එක් කර ගන්නා තෙක්ම එම එළවළු සඳහා කෘමිනාශක එකතු කරනු ලබන බව පෙනී යයි. පසුව එම එළවළු අස්වනු ගබඩා කිරීමේදී පවා සතුන්ගෙන් ඇතිවන ආපදා වළක්වා ගැනීමට ද කෘමිනාශක නිතර යොදනු දැකගත හැකියි. ඒ නිසා මෙලෙස සකසන එළවළු ආහාරයට ගැනීමට යමෙකු මැලිවිය හැකියි. සැබවින්ම අප කළ යුතු වන්නේ, එළවළු පරිභෝජනයෙන් දුරස් වීම නොව ඒවා සෞඛ්‍යයට හිතකර පරිදි ආහාරයට එක්කර ගැනීමය.

එළවළු සඳහා යොදන නොයෙකුත් වර්ගයේ කෘමිනාශක හා දිලීර නාශක (උදා. කාබනේට්, ඕගතෝෆොස්පේට් වැනි) එළවළු වලින් ඉවත් කර ගැනීමට අප උත්සුක විය යුතුය. හැමවිටම ඔබ නිවෙසට ගෙන එන එළවළු පරිභෝජනයට එක් කර ගැනීමේදී හොඳින් අතුල්ලා සේදීම කළ යුතුය. විශේෂයෙන්ම පිරිසුදු ගලා යන ජලයෙන් සේදිය යුතුය. එය අවම වශයෙන් තත්ත්පර තිහක් හෝ විනාඩියක කාලයක් සෝදා හැරිය යුතුය. එසේ අතුල්ලා සේදීමේදී එළවළු තැලෙන සේ නොකළ යුතුය. එවිට ඉහත ආකාරයට එළවළුවල ගැල්වී ඇති කෘමිනාශක, දිලීර නාශක ඉවත්ව යනු ඇත. පොත්ත සමඟ ආහාරයට ගනු ලබන එළවළු වර්ග හොඳින් ස්ක්‍රබ් කර එනම් සියුම් බ්‍රෂ් එකකින් අතුල්ලා එළවළුවේ හමට හානි නොවන පරිදි සෝදා වියලා ගත හැකියි.

එමෙන්ම කැරට්,අර්තාපල් වැනි පොත්ත ඉවත් කරන එළවළු පොතු හැර ආහාරයට එක්කර ගත හැක. එලෙසම සලාද කොළ වර්ග, ගෝවා වැනි එක පොකුරට ඇති කොළ වර්ගවල කෘමිනාශක තැවරී ඇත්නම් ඒවායේ මුල් කොළ කඩා ඉවත් කර එකින් එක හොඳින් සෝදා ගැනීම කළ යුතුය. එලෙසම එළවළුවල කෘමිනාශක ඇති බවට සැක සිතේ නම් එළවළු, පලා වර්ග, සියයට දෙකක් වැනි ලුණු සාන්ද්‍රණයක ගිල්වා හොඳින් සෝදා ගැනීමට ද සියයට දහයක් වැනි විනාකිරි ද්‍රාවණයක ගිල්වා සේදීම ද කළ හැක. එවිට බැක්ටීරියා වර්ග ඉවත් වීම සිදු වේ. ඉන්පසු හොඳ පිරිසුදු ජලයෙන් සෝදා ආහාරයට එක් කර ගැනීම කළ හැක. කෘතිම කෘමිනාශක වර්ග භාවිතා කළ එළවළු මෙන්ම කාබනික පොහොර යොදා වගා කළ එළවළු වලද සමහර විට බැක්ටීරියා තිබිය හැක. මේ නිසා ඉහත ප්‍රතිකර්මය එළවළු භාවිතා කිරීමේදී සිදු කිරීමෙන් එළවළු පිරිසුදු කර ගැනීම කළ හැකිය.

curtesy :dinamina.lk

More News »