Home / සෞඛය / කම්මුල්ගාය හැදුණු විට නිවසේදී කළ හැකි ප්‍රතිකාර

කම්මුල්ගාය හැදුණු විට නිවසේදී කළ හැකි ප්‍රතිකාර

2017-09-26 02:23:00       671
feature-top
 කෙනෙකුට කම්මුල්ගාය හැදුණාම නිවසේදී කළ යුතු වෙද හෙදකම් මොනවාද?
උණ සහ වේදනාව ඇත්නම් පැරසිටමෝල් වැනි ඖෂධයක් දෙන්න. ආහාර හපන විට ඛේට ග්‍රන්ථිවල වේදනාව ඇති කරන නිසා දියර ආහර වර්ග දීමයි වඩා සුදුසු (කැඳ, කිරි සහ දියර පාන වර්ග) බිත්තර, කේක්, බනිස් සහ හොඳින් තැම්බූ නිවුඩු බත් වැනි ලෙහෙසියෙන් හැපෙන ආහාර දීමද වරදක් නැත.

මුඛයෙහි වියළි බව නැති කිරීමට ජලයෙන් කට නිතර සේදීම ද සුදුසුය. වේදනාකාරී තැන් (කම්මුල්) රස්නය ජලයෙන් තැවීම නිසා රෝගියාට සහනයක් ලැබේවි.

වෛද්‍යවරයකු මුණ ගැසීමට අවශ්‍ය වන්නේ කිනම් අවස්ථාවේදී ද?
කන අසල වෙනත් වසා ගැටිති ඉදිමීම නිසාත්, උගුරේ ආබාධ නිසාත්, දන්තාබාධ නිසාත් කම්මුල්ගාය හා සමාන රෝග ලක්ෂණ මතු විය හැකියි. ඒ නිසා නිවැරදිව රෝග විනිශ්චය කර ගැනීම සඳහා වෛද්‍යවරයකු හමු වීම නුවණට හුරුයි. මීට අමතරව මා කලින් සඳහන් කළ සංකූලතාවයන් මතුවන්නේ නම් ද වෛද්‍යවරයෙකු හමුවිය යුතුමයි.

කම්මුල්ගාය රෝගය සඳහා වෛද්‍ය ප්‍රතිකාර තිබේද?

කම්මුල්ගාය වයිරසය නසන්නට නම් තවම ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන නැහැ. (පැපොල වයිරසය නැසීමට දෙන එසයික්ලෝවිර් ඖෂධය මඟින් කම්මුල්ගාය වයිරසය නසන්න බැහැ)

එහෙත් ඔබේ වෛද්‍යවරයා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරනු ඇත. උණට සහ වේදනාවට බෙහෙත් නියම කරනු ඇත. මේ හැර මෙම රෝගියාට ව්‍යායාම අවශ්‍යය. කම්මුල දෙපස හකුවල මෙම විෂබීජය වැඩෙන නිසා රෝගියාට නිතර හපන්න දිය යුතු වේ. කෙල ඉනීම වැඩි වීමට නිතර හැපීමට දීමෙන් රෝගියාගේ කම්මුල ඉදිමීම ඉක්මණින් අඩු වේ. ඒ හැර කට සෝදන්න. දත් මදින්න අපහසු යැයි සිතා නිදාගෙනම අපිරිසුදුව ඉන්න එපා. එසේ අපිරිසුදුව සිටීමෙන් රෝගය සුව වීමට කල් ගත වේ. ඒ නිසා අපහසු වුවත් පුංචි ව්‍යායාම කරන්න. නිතර කට සෝදා පිරිසුදුව තබන්න.

සිරුරේ වෙනත් ඉන්ද්‍රියයන්, අග්න්‍යාශය, අක්මාව, ඩිම්බ කෝෂ හෝ වෘෂණ කෝෂ සහ ස්නායු පද්ධතිය ද ආසාදනය වී ඇත්දැයි වෛද්‍යවරයා පරීක්ෂා කර බලාවි. එසේ වී ඇත්නම් ඊට අදාළ ප්‍රතිකාර කරනු ඇත.

මුඛය දෝවනය පිළිබඳවත් ගත යුතු ආහාර පිළිබඳවත් උපදෙස් දෙනු ඇත.

බකමුණු ලෙඩාට අලිහක්ක උරච්චි කරලා ගෑමත්, සුදු රෙදිවලට ගාන නිල් කුඩු දියකර ගෑමත් ගුණයිලු නේද?
එහි ඇති වරදක් හෝ අගුණයක් නම් පෙනෙන්නේ නැහැ. එහෙත් රෝගය සුව කිරීම සඳහා එහි ඇති විශේෂ ගුණයක් නම් කොහෙත්ම පේන්නේ නැහැ.

කෙසේ වෙතත් කම්මුල්ගාය සෑදුණු කෙනෙකුගේ කම්මුල මත යම් සම්මත වර්ණවත් ආලේපයක් ගෑම ඔහු බෝවන රෝගයකින් පෙළෙන බව අන් අයට කියාපානවා. අන් අයට රෝගයෙන් වැළකී සිටීම සඳහා එය මඟ හැරීමට එය හොඳ සන්නිවේදන ක්‍රමයක් ලෙස නම් සලකන්න පුළුවනි.

අලිහක්ක උරච්චි කර ගෑවත් නැතත් කම්මුල් ඉදිමුම දින 4 ක් යන විට අඩු වී යනවා.

කම්මුල්ගාය මතු වී දින හතෙන් රෝගියා නෑවීම සාමාන්‍ය සිරිතයි. ඒ පිළිබඳව ඔබේ අදහස?
රෝගියාට අධික උණත්, ඇඟට තෙහෙට්ටුවක් නැත්නම් ඕනෑම දවසක නෑවාට කිසිදු වරදක් නැහැ. හරියටම දවස් 7 ක් යනතුරු ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කම්මුල් ඉදිමී තිබීම නොනෑමට හේතුවක් ලෙස සැලකිය යුතු නැහැ.

කම්මුල්ගාය රෝගය වළක්වා ගැනීමට ප්‍රතිශක්තිකරණ එන්නතක් තිබෙනවාද?
ඇයි නැත්තේ. M.M.R (Mumps Measles and Rubella)  නමින් කමුමුල්ගාය, සරම්ප හා රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප යන රෝග තුනම වළක්වා ගැනීම සඳහා නිපදවූ එන්නතක් වෙළෙඳපොළේ තිබෙනවා. එය අවුරුද්ද ඉක්ම වූ අයට සුදුසුයි. ගර්භණී කාලයේදී හෝ යමෙක් උණ රෝගයකින් පෙළෙන විටදී හෝ ප්‍රතිශක්ති ඌනතා රෝගයකින් පෙළෙන අවස්ථාවන්හිදී එම එන්නත ලබා නොදෙන බවත් දැනගත යුතුයි. කම්මුල්ගාය පමණක් වැළැක්වීම සඳහා Mumps Vaccine නමින් තනි එන්නත් ද අවශ්‍ය නම් රෝගියාට ලබාදිය හැකියි.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »