Home / සෞඛය / අධික මේදය සහිත ආහාර නිසා පියයුරු - මහාන්ත්‍ර - ගර්භාෂ - පුරස්ථික පිළිකා අවදානමක්

අධික මේදය සහිත ආහාර නිසා පියයුරු - මහාන්ත්‍ර - ගර්භාෂ - පුරස්ථික පිළිකා අවදානමක්

2017-10-02 09:30:00       825
feature-top
 ආහාර හා පිළිකාව අතර සම්බන්ධය ඉතාමත් උභතෝකෝටික ප්‍රශ්නයක් ලෙස පවතී. සමහර ආහාර පිළිකා කාරක ලෙසත්, අනික්වා පිළිකා වැළැක්වීමට උදව් වන ද්‍රව්‍ය ලෙසත්, තවත් සමහරක් පිළිකා ප්‍රතිකර්ම සඳහා භාවිත කළ හැකි ද්‍රව්‍ය ලෙසත් ප්‍රසිද්ධියක් උසුලයි. ලෝක දත්ත අනුව පිළිකාවලින් 35%ක් පමණ ආහාර සමඟ සම්බන්ධ බව පෙනේ.කාන්තා පිළිකාවලින් 60%ක් පමණත්. පිරිමි පිළිකාවලින් 40%ක් පමණත් ආහාර පුරුදු හා සම්බන්ධ බව පෙනේ.

අප ගන්නා ප්‍රධාන වර්ග හතරකට බෙදිය හැකි ය.

* කිරි ආහාර
* මාංශ ආහාර
* ධාන්‍ය ආහාර
* එළවළු හා පලතුරු

දිනපතා ගන්නා ආහාර මාරු කරමින් එක් එක් වර්ගයෙන් මධ්‍යම ප්‍රමාණයක් ගැනීම වැදගත් වේ. දෛනික ව මෙම ප්‍රධාන ආහාර වර්ග හතර ම අප ආහාරයට එක් කිරීම වැදගත් වේ. අලුත් එළවළු හා පලතුරු කෙඳි සහිත වීමත් විටමින් (ජීව පදාර්ථ) අඩංගු වීමත් නිසා වැදගත් තැනක් ගනී. මීට අමතරව මාළු භාවිතය තෙල් අධික මස් වර්ග භාවිතයට වඩා ශරීරයට හිතකරය.

සමහරක් ආහාර පිළිකා වැළැක්වීම හෝ ප්‍රතිකර්මය සඳහා භාවිත කළ හැකි බව පෙනේ. ඒවා නම් - විටමින් ඒ,ඛ්,ඡ් හා කෙඳි සහිත ආහාර යි.

සමහරක් ආහාර හා රසකාරකවල පිළිකා අනතුර සහිත බව පෙනේ. ඒවා නම් - අධික මේද සහිත ආහාර, සමහර ආහාර වර්ණක, නයිට්‍රයිට හා නයිට්‍රේට (ආහාර කල්තබා ගැනීමේ දී භාවිත වේ) හා මධ්‍යසාරය වැනි වර්ගය යි.

සමහර ආහාරවල පිළිකා පිළිබඳ යම් තරමක ප්‍රශ්නාර්ථයක් සහිත බව පෙනේ. ඒවා නම් - සැකරින් (දියවැඩියා සීනි) බී.එච්.ඒ. (ආහාර කල් තැබීමට ගන්නා ද්‍රව්‍යයක්), කෘමි නාශක හා මස්වල තිබිය හැකි හෝර්මෝන වැනි වර්ග යි.

අධික මේදය

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වේලක මාංශ භාවිතය අඩු වූ අතර මේදය අවම ප්‍රමාණයක් පැවතුණි. ආහාරයේ ඇති අධික මේදය පියයුරු, මහාන්ත්‍ර, ගර්භාෂ හා පුරස්ථික ග්‍රන්ථි පිළිකාවලට සම්බන්ධ බව පෙනේ. ආහාරයේ ඇති අධික මේදය පිත සෑදීම උත්තේජනය කරයි. පිළිකාකාරක නිපදවන බැක්ටීරියා වර්ග අන්ත්‍රය තුළ වර්ධනය වීමටත් මේදය උදව් වේ. මේද අම්ල වැනි ආහාර ජීර්ණයේ අතුරු ඵල ලෙස හටගන්නා කුඩා අංශුවලින් (නිදහස් ක්ෂුද්‍රාංශු) අප සිරුරේ සෛලවල අඩංගු ඩී.එන්.ඒ.පටවලට හානි පමුණුවා පිළිකා ඇති වීමට ඇති ඉඩ වැඩි කරයි. මේදය මගින් ඊස්ට්‍රජන් වැනි හෝමෝන සෑදීම උත්තේජනය කර පිළිකා වැඩිමට ඇති පරිසරය සකසයි. මේ අයුරින් ආහාරයේ ඇති අධික මේදය අප සිරුරට අහිතකර වේ. අප ගන්නා මේද ප්‍රමාණය ඉහළ යාම මේ අනුව කණාගටුව හේතුවකි.

ආහාර වර්ණක, රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය හා කෘමි නාශක

පාලනයකින් තොර ව මෙම ද්‍රව්‍ය භාවිතය ලංකාවේ බහුල ව දක්නට ඇති උවදුරකි. ආහාරවල ඇති මෙවැනි ද්‍රව්‍යවල ඇති ප්‍රවේශම ගැන නිමක් නොමැති තර්ක ඇත.

උදාහරණයක් ලෙස කල්තබා ගැනීමේ කාරකයක් වන නයිට්‍රයිට හා නයිට්‍රේට, ක්ලොස්ට්‍රී‍්‍රඩියම්, බොටියුලිනම් හා සැල්මොනෙල්ලා වැනි මාරාන්තික විෂබීජ ආහාරවල වර්ධනය වීම වැළැක්වීමට භාවිත වේ. එනමුත් මෙම සංයෝගය ආහාර මාර්ගය තුළ දී නයිට්‍රෝසෝඇමයින නම් පිළිකාකාරකය බවට හැරීම සිදු වේ. එනමුත් හැම්, සලාම් වැනි ආහාර නිෂ්පාදනයේ දී භාවිත වන මෙම නයිට්‍රයිට අප ආහාරයෙන් සම්පුර්ණයෙන් ඉවත් කිරීම අපහසු ය. වාසනාවකට මෙන් විටමින්, “සී” වලින් මෙම නයිට්‍රෝසෝඇමයින සෑදීම වළක්වන බව සොයාගෙන ඇත. ඒ නිසා නයිට්‍රයිට අඩංගු ආහාර අඩු කිරීමත් “සී” විටමින් අඩංගු දෙහි, පලාවර්ග, තත්කාලි වැනි ආහාර මේ නයිට්‍රයිට අඩංගු ආහාර ගැනීමේ දී ඒ හා සමඟ භාවිත කිරිමත් මගින් මෙම අවදානම අඩු කරගත හැකි බව පෙනේ.

කෙඳිවලින් ඇති ප්‍රයෝජන

ශ්‍රී ලාංකිකයන් සාම්ප්‍රදායික ව ගත් ආහාර කෙඳිවලින් අනූන බව කිව යුතු නොවේි. ආහාර සමඟ ලැබෙන කෙඳි බඩවැල තුළ ජීර්ණය නොවී මල සමඟ පිට වේ. මෙම කෙඳි මල පහවල ජලය තබාගැනීමට උදව් වේ. එනිසා මලපහ මෙලෙක් වීමත්, බඩවැලේ (අන්ත්‍රයේ) මස්ගොබ ක්‍රියාකාරීත්වය (ක්‍රමාකුංචනය) හරියාකාර ව සිදුවීමත් නිසා මලබද්ධය වළක්වයි. මේ නිසා අන්ත්‍රය තුළ ආහාර රැඳී පවතින කාලය අඩු කරයි. එ නිසා පිළිකා කාරක ඇඟ ට උරා ගැනීමට ඇති ඉඩකඩ අඩු වේ. මීට අමතර ව කෙඳිවලින් තෙල් වර්ග සිරුරට උරාගැනීම අඩු කර ලේවල ඇති කොලොස්ටරෝල් හා මේදය අඩු කරයි. ආහාරවල කෙඳි අඩු වූ විට අක්මාවෙන් පිත්ත අම්ල නිපදවීම වැඩි වේ. මේ පිතේ ඇති සංයෝග මහබඩවැලේ (මහාන්ත්‍රයේ) සෛවල ජාන විකෘති ඇති කර පිළිකා සෑදීමට හේතු වේ. එනිසා කෙඳි මෙයත් අඩු කරයි. කෙඳි බඩවැලේ ඇති ප්‍රයෝනවත් බැක්ටීරියා වර්ධනයට උදව් වීමත්, භයානක බැක්ටීරියා වර්ග අඩු කිරීමටත් හේතු වේ. මේ අයුරින් කෙඳි සහිත ආහාර පිළිකා අඩු කිරීමට නන් අයුරින් උදව් වේ.

කෙඳි සහිත ආහාර මඟින් මහබඩවැලේ පිළිකා සෑදීම විශේෂයෙන් අඩු වේ. එනිසා කෙඳි අඩු, තෙල් වැඩි ක්ෂණික ආහාර වර්ග සිරුරට අහිතකරය.

සමාජ ව්‍යුහය වෙනස් වීමත්, කාන්තාවන් වැඩි වශයෙන් රැකියාවන් කරා යොමු වීමත් සමඟ ශ්‍රී ලාංකිකයන් වැඩි වැඩියෙන් කෙඳි අඩු මේදය වැඩි ක්ෂණික ආහාර කරා යොමු වීමෙන් අන්ත්‍රගත පිළිකා ප්‍රතිශතය ඉහළ යන බව පෙනේ.

Wmqgd .ekSu wdfrda.Hd mqj;a m; weiqfrks

More News »