Home / සෞඛය / කොඳු ඇට පෙළෙහි ආබාධ ඇතිවිය හැකි අවස්‌ථාවන් හඳුනා ගන්න

කොඳු ඇට පෙළෙහි ආබාධ ඇතිවිය හැකි අවස්‌ථාවන් හඳුනා ගන්න

2017-10-24 10:12:00       204
feature-top
නුවර ගෝනෙගොඩ වෙද පරම්පරාව අවුරුදු හයසියයක්‌ හත්සියයක්‌ පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියන වෙද පරම්පරාවකි. ගෝනෙගොඩ වෙද පරම්පරාව අක්‌කරගම පන්සල ආශ්‍රිතව ඇති වූ බවට ඉතිහාසය සාක්‍ෂි දරයි.
 
 නුවර රාජධානිය යුගයේ සිට පැවැත එන ගෝනෙගොඩ වෙද පරම්පරාව සර්වාංග රෝග සඳහා අතීතයේ ඉසිලූ ප්‍රසිද්ධිය අද දක්‌වාම පැවැතීමේදී හන්දි රෝග සහ වාත රෝග ඒ අතුරින් විශේෂිත බව පෙනේ.
 
 අද මෙම වෙද පරම්පරාවේ හත්වන පරම්පරාව වෙදකමේ නිරත වී සිටිනු දක්‌නට ලැබේ. පරම්පරාවෙන් ලැබුණු වෙදකම සමඟ දේශීය වෛද්‍ය අධ්‍යාපනය ලබමින් දැනුම තවත් පුළුල් කර ගැනීම තුළ ගෝනෙගොඩ වෙද පරම්පරාවේ හත් වන පරම්පරාව නියෝජනය කරන වෛද්‍ය අමිල බණ්‌ඩාර ගෝනෙගොඩ මහතා මාළබේ සුසිලාරාම පාරේ, තුන් වැනි පටුමගේ සුවසහන රෝහලේ ප්‍රතිකාර ලබාදෙන්නේ කුඩා කල සිට ලැබූ අත්දැකීම් මෙන්ම පුළුල්කරගත් දේශීය වෛද්‍ය ශාස්‌ත්‍රය ඔස්‌සේ බව පැහැදිලිව පෙනෙන්නට ඇත.
 
 අද සමාජයට දෙනෙත් යොමු කිරීමේදී බොහෝ තැනකදී අසන්නට ලැබෙන්නේ කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ මෙන්ම වේදනාවන් පිළිබඳවය. රෝගය නිවැරදිව හඳුනා නොගැනීම තුළ බොහෝ කාලයක්‌ ප්‍රතිකාරයට යොමු වී සුවයක්‌ නොලද පිරිස සමාජයේ අඩුවක්‌ නැත. මෙම කාල සීමාව වසර තුන හතර හෝ ඊටත් වඩා වැඩි වන අවස්‌ථා දුලබ නැත.
 
 කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධවලදී එය නිවැරදිව හඳුනාගත යුතු වන්නේ ප්‍රතිකාර ලබාදිය යුතු, කොඳු ඇට පෙළ මොළොක්‌ කිරීමෙන් පසුව දැයි වටහා ගත යුතු නිසාවෙනි. කොඳු ඇට පෙළ මොළොක්‌ කිරීම සඳහා වූ විශේෂිත ඖෂධ වට්‌ටෝරු තිබේ. කොඳු ඇට පෙළෙහි යම් ආබාධයක්‌ වේ නම් අවශ්‍ය අවස්‌ථාවල එය නිවැරදි කිරීමට පළමුව කොඳු ඇට පෙළ මොළොක්‌ කළ යුතුය. මොළොක්‌ කිරීමෙන් පසු යථා තත්ත්වයට පත්කර පසුව ශක්‌තිමත් කළ යුතුය. බොහෝ තැනෙකදී එලෙසින් නිවැරදි ප්‍රතිකර්මයක්‌ සිදු නොවීම හමුවේ දේශීය වෛද්‍ය ක්‍රමයෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණු බවට මැසිවිලි නැගූවද වරද නිසි ප්‍රතිකර්මය නොවූ නිසාවෙන් බව පිළිගත යුතු කාරණාවය.
 
 කොඳු ඇට පෙළ ආශ්‍රිතව බොහෝ රෝග තත්ත්වයන් දක්‌නට ලැබෙන්නේ වැරදි ඉදිරියව් නිසාවෙන් බව පෙනේ. වාඩිවීමට නිවැරදි ඉදිරියව් භාවිත නොකිරීම, වැරදි බර ඉසිලීමේ ක්‍රම, වැරදි ව්‍යායාම කොඳු ඇට පෙළට හානි කරන බව අප තරයේ මතක තබා ගත යුතුය. දිගින් දිගටම එකම වරද සිදු වීමේදී කොඳු ඇට පෙළ ඇදවීම, කශේරුකා මඬල ලිස්‌සා යැම (කශේරුකා දෙකක්‌ අතර ඇති තරලය) වැනි තත්ත්වයන් ප්‍රධාන වශයෙන් ඇති විය හැකිය.
 
 තවද කොඳු ඇට පෙළ ආශ්‍රිතව ආබාධ ඇතිවිය හැකි තවත් අවස්‌ථාවක්‌ ලෙසට හදිසි අනතුරු පෙන්වා දීමට පුළුවන. මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු වන්නේ නිරෝගී බව ලඟාකර ගැනීමට යෑයි කියමින් නියෑළෙන අවිධිමත් ව්‍යායාම පිළිබඳවය. අවිධිමත් ව්‍යායාම සැබැවින්ම කොඳු ඇට පෙළට හානි කර විය හැකි නිසාවෙන් ව්‍යායාමයක නියෑළීමට පෙර නිසි උපදෙස්‌ ලබා ව්‍යායාමයේ නියෑළීමට වග බලා ගත යුතුය. තවද කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධ ඇතිවීමට ආතරයිටිස්‌ වර්ගයන්ගේ බලපෑම ඇතිවන අවස්‌ථාද ඇත.
 
 කොඳු ඇට පෙළේ කොඳු ඇට අතර පරතරය (අස්‌ථි අතර) ඈත්වීමක්‌ සිදු වීම තුළ සයිටිකා ස්‌නායුව තද වීම යන අවස්‌ථාව ඇතිවිය හැක. (ගෘධ්‍රසි) මෙම තත්ත්වය ඇතිවීමට හදිසි වැටීම්, හදිසි අනතුරු, අධික බර ඉසිලීම්, වැරදි ඉරියව් වැනි තත්ත්වයන් ප්‍රධාන හේතූන් බව පෙනේ.
 
 සයිටිකා ස්‌නායුව තදවීම යන අවස්‌ථාව ඇතිවී නම් එහි අවස්‌ථාව අනුව ඉණෙන් පහළ පණ නැති වන තත්ත්වයට පවා පත්වීමට පුළුවන.
 
 පොදුවේ මෙම තත්ත්වයට තෙල් ආලේපකරමින් තැවීම් සිදු කළද එසේ කිරීම තුළ ඈත් වූ අස්‌ථි වෙනස්‌ වීමක්‌ සිදු නොවන බව මතක තබා ගත යුතුය.
 
 ඈත් වු කොඳු ඇට පෙළෙහි අස්‌ථි නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා (අස්‌ථි අතර පරතරය සමාන වීම සඳහා) විශේෂ වැටියක්‌ දමා තෙල් ආලේප කළ යුතු වන්නේ අස්‌ථි බුරුල් කිරීම සඳහාය. අස්‌ථි අතර සමාන පරතරයක්‌ ඇති කර ගැනීමට පරතරය වෙනස්‌ වූ අස්‌ථිය නැවත නිසි පරතරයට ගත යුතුය. එය කළ හැකි වන්නේ අස්‌ථිය බුරුල් කර ගැනීමෙනි.
 
 පුරාණ සෘෂිවරුන් විසින් අස්‌ථි බුරුල් කිරීම සඳහා වූ ඖෂධ වට්‌ටෝරු පිළිබඳ සටහන් කළ පොත් පත් අදටත් අප අතර තිබීම සැබැවින්ම නිවැරදි ප්‍රතිකර්මයට මහඟු පිටිවහලක්‌ බව පෙනේ. අස්‌ථි බුරුල් කර නිවැරදි ස්‌ථානයට අස්‌ථිය ප්‍රතිස්‌ථාපනය කර නැවත ප්‍රතිකාර කළ යුතු වන්නේ බුරුල් වු අස්‌ථි ශක්‌තිමත් කිරීම සඳහාය.
 
 මෙම ක්‍රමය යටතේ කොඳු ඇට පෙළෙහි ආබාධවලට පමණක්‌ නොව ඇද වී ඇති පාද, හන්දි ඇදවීම වැනි අවස්‌ථාවන්ටද ප්‍රතිකාරය සාර්ථක වන්නේ ඇද වු පාද හෝ හන්දි බුරුල් කර නිවැරදි කිරීමෙන් පසු නැවත යථා තත්ත්වයට පත් කරන නිසාවෙනි.
 
 මේ සියලු දෙයට මුලික වී තිබෙන්නේ ඖෂධීය තෙල් සාත්තුව, තැවිලි වැනි පුරාණ සෘෂිවරුන්ගේ ඖෂධ ක්‍රම වීම විශේෂිත බව පෙනේ.
 
 ඖෂධීය තෙල් සාත්තුවේ සාර්ථකත්වය පිළිබඳ කතා කිරීමේදී අංගම්පුර සටන් කලාවේදී තෙල් ආලේපයෙන් සටන් කලාවට පිසුණේ නම්‍යශීලි බව ලබාගැනීමට මෙන්ම ශරීර සෞඛ්‍ය රැක ගැනීමට බව පැහැදිලිව පෙනෙන්නට ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »