Home / සෞඛය / වාතජ අර්ශස්‌ ගැන තවත් ටිකක්‌...

වාතජ අර්ශස්‌ ගැන තවත් ටිකක්‌...

2017-10-27 01:19:00       171
feature-top
ප්‍රශ්නය - පසුගිය සතියේදී ඔබ සමඟ කළ සාකච්ඡාවේදී අර්ශස්‌ රෝග 6 ක්‌ තිබෙන බව ඔබ සඳහන් කළා. එයින් පළමුවැන්න වන වාතජ අර්ශස්‌ රෝගය හට ගැනීමට හේතුවන කරුණු සාකච්ඡා කළා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - අද මම මුලින්ම හඳුන්වා දෙන්නේ වාතජ අර්ශස්‌ රෝගයේ ලක්‍ෂණ. එහෙමත් නැත්නම් වාතජ අර්ශස්‌ ගෙඩිවල ස්‌වභාවය ගැනයි. එම ගෙඩි වියළියි. ඒවා අතින් ස්‌පර්ශ කළ විට ඇඟ කිලිපොලන ගතියක්‌ එනවා. ඒවා හරි දුර්වලයි. වර්ණය කලු පැහැයට හුරු නිල් පැහැයයි. සමහර විට කසාවත් පැහැයට හුරු රතකුත් තිබෙනවා. මේ ගෙඩි ඝන වන අතර ස්‌පර්ශ කරන විට ඒ තද ගතිය දැනෙනවා. හිටි හැටියේම ඒවා පුපුරා යන අතර පුපුරා යැමට පෙරත් පිපිරුම් පහරවල් ගෙඩිය මත දකින්න පුළුවන්.

ඒ අප කතා කළේ වාතජ අර්ශස්‌ ගෙඩිවල ස්‌වභාවය ගැනයි. දැන් අපි බලමු මේ රෝග තත්ත්වය ශරීරයට පොදුවේ දැනෙන ආකාරය. වාතජ අර්ශස්‌ රෝගියාගේ හිස නිතරම කකියනවා. ඇලපත රිදෙනවා. උරස්‌ ප්‍රදේශයේත් වේදනාවක්‌ හට ගන්නවා. කොන්ද සහ කලවා වේදනා ගෙන දෙනවා. ඉකිලි කකියන අතර නිතර කිවිසුම් යනවා. පපුව හිර කරනවා. ශරීරය කෙට්‌ටු වෙනවා. කැස්‌ස සහ හතිය ඉතාම ඉහළ මට්‌ටමක පවතිනවා. දෙකන් කුරු කුරු ගාන අතර බඩ බුරුලට යැම නිතර සිදුවනවා. අශුචි තුළ කුඩා කැබළි දැක ගැනීමට හැකිවන අතර ඒ සමඟ සෙම මිශ්‍රව තිබෙන අයුරු දැක ගන්න පුළුවන්. මෙහි අවසන් ප්‍රතිඵල ලෙස උදරය තුළ අර්බුද (ගෙඩි) හට ගැනීමත් ප්ලිහාව ඉදිමීමත් සිදුවනවා.

අප මෙතෙක්‌ කතා කළේ වාතජ අර්ශස්‌ ගැනයි. දැන් අප කතා කරමු පිත්තජ අර්ශස්‌ ලෙස හැඳින්වෙන රෝග තත්ත්වය හට ගැනීමට හේතු වන කරුණු ගැන. කටුක ආහාර ගැනීම සහ ඇඹුල් සහ ලුණු සහිත ආහාර ප්‍රමාණය ඉක්‌මවා ගැනීම තමයි මෙයට ප්‍රධානතම හේතුව. ඒ වගේම උණු ආහාර ගැනීමත් හොඳ නැහැ. ප්‍රමාණය ඉක්‌මවා ව්‍යායාම කිරීම, ප්‍රමාණය ඉක්‌මවා ගිනි රස්‌නයට නිරාවරණය වීම, අසීමාන්තික ලෙස අව්වේ වැඩ කිරීම, උණුසුම් ගුණය සහිත ප්‍රදේශවල වාසය කිරීම, අධික ලෙස කෝපගැනීම සහ අධික ලෙස මත්පැන් ගැනීම, ඉරිසියාවෙන් මනස අපිරිසිදු කර ගැනීම, කාරම් සහිත, එහෙමත් නැත්නම් දිව පසාරු කර ගෙන යන ආහාර පාන ගැනීම සහ ඖෂධ නිතර ගැනීම, කට දිව කිලිපොලන ආහාර පාන සහ ඖෂධ නිතර ගැනීම උණුසුම් ගුණය ඇති ආහාර පාන සහ ඖෂධ නිතර ගැනීම යන කාරණා තමයි පිත්තජ අර්ශස්‌ රෝගය හට ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »