Home / සෞඛය / සමේ ලෙඩවලට අත්බෙහෙත් එපා

සමේ ලෙඩවලට අත්බෙහෙත් එපා

2017-11-10 09:59:00       207
feature-top
වෛද්‍යතුමනි, සමේ රෝග යනුවෙන් හදුන්වන්නේ කුමක් ද?
හමේ ඇතිවන රෝගයක් ‍හෝ යම් කිසි වෙනසක් සමේ රෝග වශයෙන් හැඳින්විය හැකි ය.

බෝ වන සමේ රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවා ද?
බෝ වන සමේ රෝග ප්‍රභේද ගණනාවක් තිබේ.බැක්ටීරියා ආසාදන,වෛරස් ආසාදන,දිලීර ආසාදන,පරපෝෂිත ආසාදන වශයෙන් එම ප්‍ර බේද පෙන්වා දිය හැකි ය.ලාදුරු රෝගය,කෂානා රෝගය( පණු හොරි),පැපොල යන රෝග බෝ වන සමේ රෝග ලෙස පෙන්වා දීමට පුළුවන.

බෝ නොවන සමේ රෝග යනුවෙන් හදුන්වන්නේ මොනවා ද?
පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ව්‍යාප්ත නොවන සමේ රෝග බෝ නොවන සමේ රෝග වශයෙන් හැදින්විය හැකි ය.බැක්ටීරියා ආසාදන,වෛරස් ආසාදන,දිලීර ආසාදන,පරපෝෂිත ආසාදන වලින් ඇතිවන රෝග හැර අනෙක් සියලුම සමේ රෝග බෝ නොවන සමේ රෝග යනුවෙන් හදුන්වනු ලබයි.පොතුකබර (කිටීහ රෝගය) බෝ නොවන සමේ රෝගයක් ලෙස පෙන්වා දීමට පුළුවන.

සමේ රෝග ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?
විවිධාකාර හේතු සාධක සමේ රෝග ඇති වීම සඳහා බලපානු ලබයි.ජානමය සාධක,පරිසර සාධක,පෝෂණමය තත්ත්වයන්, සහ ඖෂධ වර්ග යනා දී වශයෙන් සමේ රෝග ඇති වීමට බලපාන හේතු සාධක දැක්වීමට පුළුවන.

සමේ රෝග ලක්ෂණ කවරාකාර ද?
පැහැය වෙනස් වීම,සම ගැළවී යාම,සම රතු වීම,සම කැසීම,සමේ වේදනාව,ඉබේ ඇතිවන චකිතය, යනාදිය සමේ රෝග ලක්ෂණ වේ.

සමෙහි ඇතිවන වේදනාව ගැන කුමක් කිව හැකිද?
සමෙහි ඇති වන ලක්ෂණයක් ලෙස වේදනාව ඇති වේ. සමෙහි වේදනාව ඇති වන්නේ සමේ ස්නායු හෝ රුධිර වාහිනී සම්බන්ධව ඇතිවන ආසාදන තත්ත්වයක් මඟිනි. සමෙහි රෝගවලට නිසි විනිශ්චයක් ලබා දීමට චර්ම රෝග විශේෂඥයින්ගේ දක්ෂතාව සහ පළපුරුද්ද වඩාත් වැදගත් වේ. ප්‍රථමයෙන් හට ගන්නා සමෙහි වේදනාව වැඩි දියුණු වී දරුණු සමේ රෝග තත්ත්වයක් වුව ද පසු කාලීනව ඇති වීමට පුළුවන. එම නිසා සමෙහි වේදනා තත්ත්වයක් ඇති වු විගස වෛද්‍ය උපදෙස් ලබා ගැනීම නුවණට හුරු ය.

ළදරු වියේ දී ඇතිවන සමේ රෝග වලින් වැළකී සිටීමට සිදු කළ යුත්තේ මොනවා ද?
දිනපතා‍ ස්නානය කිරිම මඟින් ළදරු වියේ දී ඇතිවන සමේ රෝග බොහොමයකින් ආරක්ෂා වීමට පුළුවන. එමෙන් ම නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන සබන් සහ ෂැම්පු වර්ග භාවිතයට නොගැනීම,අනවශ්‍ය ආලේපන වර්ග භාවිතා නොකිරීම,ප්‍රමාණයට වඩා ආභරණ නොපැළදීම යනාදිය මඟින් ළදරු වියේ දී ඇතිවන සමේ රෝග අවම කර ගත හැක.

සමේ රෝගයක් වැළදුණු පුද්ගලයෙකු වුව ද එම පුද්ගලයෙකු ප්‍රථමයෙන් කළ යුත්තේ කුමක් ද?
සමෙහි රෝග ලක්ෂණ ඉස්මතු වු පුද්ගලයෙකු ඒ සඳහා කිසි විටක අත් බෙහෙත් භාවිතා නොකළ යුතු වේ. එසේ වුවහොත් සමේ රෝගය නොදැනුවත්කම හේතුවෙන් උග්‍ර වීමට පුළුවන.සමේ රෝගයක් වැළදුණු පුද්ගලයෙකු ප්‍රථමයෙන් කළ යුත්තේ ‍වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ය.

සමේ රෝග සදහා ඖෂධ ලබා ගැනීමේ දී ආහාර පාලනය කිරීම අත්‍යවශ්‍ය ද? ඒ ඇයි?
සමහර සමේ රෝග සඳහා ආහාර පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ. උදාහරණයක් ලෙස අධික තරබාරුකම හේතුවෙන් ඇතිවන කළු පැහැය නැති කිරීම සඳහා අධික මේදය සහ අධික පිෂ්ඨය අඩංගු ආහාර අඩුවෙන් ගත යුතු ය.

වර්තමානයේ දී සමේ ඇතිවන විවිධ ලප කැළල් ඉවත් කිරීම සදහා විවිධ පිළියම් පවතිනවා නේද? ඒ මොනවා ද?
ඔව් වර්තමානයේ දී සමේ ඇතිවන විවිධ ළප කැළැල් ඉවත් කිරීම සඳහා පිළියම් කිහිපයක් පවතී. විවිධාකාර ආලේපන වර්ග,විවිධ උපකරණ මඟින් ලබා දෙන ප්‍රතිකර්ම ක්‍රම, ඒ වාගේ ම ශෛල්‍යකර්ම ප්‍රතිකාර ,ලේසර් ක්‍රමය,විවිධාකාර නික්ෂේපණ,( ඉන්ජක්ෂන්) සහ විවිධ ආලෝක කිරණ යනාදිය සමෙහි ඇතිවන ළප කැළැල් ඉවත් කිරීම සඳහා සිදු කරන ප්‍රතිකර්ම වේ.

සමේ රෝග නිට්ටාවටම සුව කළ හැකි ද?
සමේ රෝග බොහොමයක් ම නිට්ටාවටම සුව කිරීමට පුළුවන. නුතන ලෝකයේ පවතින දියුණු වෛද්‍ය ප්‍රතිකර්ම මඟින් සමේ රෝග බහුතරයක් නිට්ටාවටම සුව කළ හැකි බව විද්‍යාත්මක පර්යේෂණ මඟින් අනාවරණය කර ගෙන ඇත.

වර්තමානයේ මිනිසුන් කිසිදු උපදෙසක් නොමැතිව යම් යම් ආලේපන වර්ග ගල්වනවා.ඉන් ඇතිවන අතුරු ආබාධ තත්ත්වයන් මොනවා ද?

වර්තමානයේ කිසිදු වෛද්‍ය උපදෙසක් නොමැතිව යම් යම් ආලේපන වර්ග ගැල්වීමෙන් ඇතිවන අතුරු ආබාධ තත්ත්වය බහුතරයක් පවතී.එම නිසා කිසිදු විටක යම් ආලේපනයක් ආලේප කිරීමට ප්‍රථමයෙන් ස‍ම පිළිබඳව විශේෂඥයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් වැදගත් ය.

දීර්ඝ කාලීනව සමට සිදුවන බලපෑම් හේතුවෙන් සමෙහි පිළිකා තත්ත්වයන් ඇති වන්න් කෙසේ ද?
විශේෂයෙන් ම සුර්යයාගේ පාරජම්බූල කිරණ හේතුවෙන් සමේ පිළිකා ඇති වීමට පුළුවන.මෙම පිළිකා තත්ත්වය වැඩි වශයෙන් බලපාන්නේ සුදු පාට සමක් පිහිටා තිබෙන පුද්ගලයන්ටය. කළු සමක් ඇති පුද්ගලයින්ට මෙම පිළිකා තත්ත්වය එතරම් බලපාන්නේ නැත. ඒ කෙසේ වුවත් හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතු ය.

නිරෝගී සමක් හිමි කර ගනීමට මිනිසුන් එදිනෙදා ජීවිතයේ දී පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?
යහපත් දිවි පැවැත්ම,සෞඛයට හිතකර ආහාර රටාව,දිනපතා ස්නානය කිරීම,අනවශ්‍ය ආලේපන ගැල්වීමෙන් වැළකීම,දුම්වැටි භාවිතයෙන් වැළකී සිටීම මඟින් ඕනෑම පුද්ගලයෙකුට මුළු ජීවිත කාලය පුරාම නිරෝගී සමක් උරුම කර ගැනීමට පුළුවන.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »