Home / සෞඛය / කුරුඳු පොත්ත ඇඟ බස්‌සයි

කුරුඳු පොත්ත ඇඟ බස්‌සයි

2017-11-29 09:35:00       464
feature-top
කුරුඳු පොතුවල අන්තර්ගත "සිනමල්ඩිහයිඩ්" නමැති අත්‍යවශ්‍ය තෙල් වර්ගය මිනිස්‌ සිරුරෙහි තරබාරු බවට හේතු වන මේදය සහිත සෛලවල අඩංගු එම මේදය දහනය කර ඉවත් කිරීමට උපකාරී වන බව ඇමරිකා එක්‌සත් ජනපදයෙහි මිචිගන් සරසවියෙහි පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් අනාවරණය කර තිබේ.
 
 මෙසේ තෙල් සහිත මිනිස්‌ සෛලවල එම තෙල් දහනය කිරීමට හේතු කාරක වන "සිනමල්ඩිහයිඩ්" තෙල් විශේෂය කුරුඳු පොතුවල ඇති විශේෂිත රසය ගෙන දීමට දායක වී ඇති ද්‍රව්‍යයයි. 
 
 පර්යේෂකයන් විසින් මීයන් යොදාගෙන පෙර සිදු කරන ලද අධ්‍යයනයකදී මෙම තෙල් විශේෂය මීයන් තරබාරු බවට පත්වීම වළක්‌වන බවට තහවුරු කර තිබිණි.
 
 සිරුරෙහි උණුසුම පවත්වාගෙන යැම සඳහා සිදු කෙරෙන කැලරි දහනය කිරීමේ ක්‍රියාදාමය ද ඉහත කී තෙල් විශේෂය මගින් කාර්යක්‍ෂම කරන බව පර්යේෂකයන් හඳුනාගෙන තිබේ. මෙසේ කැලරි දහනය කිරීමෙන් ශරීරයේ බර අඩු කර ගත හැකිය.
 
 මෙම අධ්‍යයනය මෙහෙයවූ ජීවන විද්‍යා ආයතනයේ සහකාර පර්යේෂණ මහාචාර්ය ජුන් වුට අනුව කුරුඳු පොතුවල අන්තර්ගත සිනමල්ඩිහයිඩ් තෙල් විශේෂය හරහා මිනිස්‌ සිරුරට ඉටුකළ හැකි මෙහෙය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීම අත්‍යවශ්‍යය.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »