Home / සෞඛය / කොඳු ඇට පෙළේ ස්‌නායු තෙරපීම, ඇට දිරායැම, කොඳු ඇට ඈත්වීම සුව කරන්නේ කොහොමද?

කොඳු ඇට පෙළේ ස්‌නායු තෙරපීම, ඇට දිරායැම, කොඳු ඇට ඈත්වීම සුව කරන්නේ කොහොමද?

2017-12-06 09:25:00       205
feature-top
ඔහු ගැන අපට දැන ගන්නට ලැබුණේ අහම්බෙනි. ඒ අපගේ මිතුරකු වෙතිනි. මිතුරාගේ 16 හැවිරිදි දියණියගේ කොඳු ඇට පෙළ ඇද වී තිබිණ. එය ඇද වන්නට පටන් ගන්නේ ඇය 8 වන වියෙහි පසුවන විටය. මුලින්ම දුන්නක හැඩයට ඇද වෙන්නට පටන් ගත් කොඳු ඇටය ක්‍රමයෙන් S අකුරේ හැඩය දක්‌වා ගියේය. මුල සිටම විවිධ වෛද්‍ය ප්‍රතිකාර කෙරෙහි නැඹුරු වී සිටි මගේ මිතුරා ඉන් පළ නොලැබ අවසානයේදී විකලාංග චිකිත්සකයකු මගින් ශල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවිය.

"මෙතැනදී කරන්න තියෙන්නේ Open Suygery එකක්‌ කරලා කොඳු ඇට පෙළට PIN ගහන එක." ශල්‍ය වෛද්‍යවරයා අපේ මිතුරාට කීවේය. "හැබැයි ලක්‍ෂ 30 ක්‌ විතර යාවි..."

ඊළඟට මිතුරා කළේ Second Opnion ලෙස හැඳින්වෙන 'විකල්ප අදහසක්‌' ලබා ගැනීම සඳහා වෙනත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවීමය.

"ඕකෙ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා. කොඳු ඇටය දිගට පින් දමලා කෙලින් කළාම පින් කැඩෙන අවස්‌ථා තියෙනවා. ඒක අවදානම් තත්ත්වයක්‌. මොකද පුංචි ළමයකුට කියන්න බැහැනේ මෝල්ගහක්‌ ගිල්ල වගේ පැය 24 ම කෙළින් ඉන්න කියලා."

kodu1අපේ මිතුරගේ සිහිය විකල් විය. දියණියගේ ඉනේ සිට උරහිස දක්‌වා වූ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ඇදවීම නිසා ඉමහත් විකෘති සහගත බවක්‌ දැක්‌වින. ඇදවුන කොඳු ඇට කෙළින් කරන වැලිගම එම්. ඒ මදනායක නමැති දේශීය වෛද්‍යවරයා ගැන ඔහුට දැන ගන්නට ලැබෙන්නේ ඒ අතරය. එතැන් සිට කතාව අප මිතුරාගේ වචනයෙන් මෙසේය.

"මේ වෛද්‍යවරයා කොඳුඇට පෙළ කෙළින් කරන්නේ කිසිම සැත්කමක්‌ නොකර අතින්මයි. ඔහු මුලින්ම කොඳු ඇට පෙළ දිගේ තෙල් වර්ගයක්‌ ගාලා සම්බාහනය කරනවා. ඊට පස්‌සේ ඇදවුණ ඇට පුරුක්‌ හෙමින් හෙමින් කෙළින් කරනවා. ඒ විදියට මාස 6 ක්‌ විතර ප්‍රතිකාර කරන කොට කොඳු ඇට පෙළ 80% ක්‌ විතර කෙළින් වෙලා. ඉතිරියට තව මාස 2 ක්‌ විතර යනවා.

මදනායක වෛද්‍යවරයා මේ සියල්ල කරන්නේ සියතිනි. ඒ සඳහා ඔහු රෝගියා තම වෙදහලේ නවත්වා ගනී. රෝගියා ඔහුදෙන කසාය පානය කළ යුතු අතර ඔහු දෙන ආහාර ගත යුතුය. ඔහුගේ විස්‌මිත හැකියාව සියෑසින් දැක ගනිමින් ඔහු සමග පැවැත්වූ සාකච්ඡා පෙළක්‌ ඔබ වෙත ගෙන එමු.

ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ කොඳු ඇට පෙළ ඇදවීමේ රෝග තත්ත්වය ගැනයි. කුඩා ළමයින්ට වැළඳෙන කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගය අලුත් ලෙඩක්‌ බවත් එය දරුවන් කුඩා කාලයේ සිට වැරදි හැඩයට (ඇලයට) හිඳගෙන රූපවාහිනිය නැරඹීමේ ප්‍රතිඵලයක්‌ බවත් ඔබ පෙන්වා දුන්නා. එසේම පුද්ගලයන්ට වැළඳෙන කුදුවීමේ රෝගය ගැනත් ඔබ කතා කළා. එය වර්ග 4 කට බෙදිය හැකි බවත් ඉන් පළමුවැන්න වංශදාහය බවත් ඔබ සඳහන් කළා. ඒ වර්ග 4 ම සුව කළ හැකි ක්‍රමවේද ඔබ අනුගමනය කරන වෛද්‍ය ක්‍රමය තුළ ඇති බවත් ඔබ කිව්වා. ඒ අතර දුරකථනයෙන් අප ඇමතූ පාඨකයන් අපෙන් විමසා සිටියා කොඳු ඇට පෙළ සම්බන්ධ වෙනත් රෝග සුව කළ නොහැකිද යන කාරණය. මොනවද මේ වෙනත් රෝග?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳුඇට පෙළ කියන්නේ ශරීරය සතුව තිබෙන වැදගත්ම අංගයක්‌. ශරීරයෙන් අඩක්‌ පමණ එයට හිමි වෙනවා. අපට කෙළින් සිටීමට හැකි වන්නේ කොඳුඇට පෙළ නිසයි. ඒ එක්‌කම කොඳුඇට පෙළ ඔස්‌සේ ගමන් කරනවා ශරීරයේ වැදගත්ම ඉන්ද්‍රියයක්‌. ඒ තමයි සුෂුම්නාව. මොළයේ සිට ශරීරය පුරා සියලු පණිවුඩ ගෙන යන්නේ සුෂුම්නාව මගින්. ශරීරයේ වැඩිම පරාසයක තිබෙන ඉන්ද්‍රියන් නිසා කොඳු ඇට පෙළට ලෙඩ ගොඩකුත් හැදෙනවා. ඒ වගේම ශරීරයේ වෙනත් කොටස්‌වල හට ගන්නා රෝග බොහොමයක්‌ සමඟ කොඳු ඇට පෙළ බද්ධ වෙනවා.

ප්‍රශ්නය - මොනවද මේ රෝග?

වෛද්‍ය එම්. ඒ. මදනායක - කොඳු ඇට පෙළේ ස්‌නායු තෙරපීම එක රෝගයක්‌. මෙයින් අධික වේදනාවක්‌ ඇති වෙනවා වගේ අත් පාවල ක්‍රියාකාරීත්වයට ලොකු බලපෑමක්‌ ඇති වෙන්නට පුළුවන්. ඊළඟ රෝගය තමයි කොඳු ඇට දිරා යැම. මෙය ඉතා භයානක තත්ත්වයක්‌. තවත් එකක්‌ තමයි කොඳු ඇට ඈත් වීම. ඊළඟට කොඳු ඇට පෙළට සම්බන්ධ ගෙල රිදෙන්නට පටන් ගන්නවා. ස්‌නායු තෙරපීමෙන් පාදවල අධික ලෙස වේදනාවක්‌ හට ගන්නවා. කෙණ්‌ඩ පෙරළෙනවා. මේ අතර සමහරුන්ගේ කොඳු ඇටවල කාටිලේජ වැහැරෙනවා. වර්ධනය වන්නේ නැහැ. කොඳු ඇට එකිනෙක ළංවෙලා තෙරැපෙනකොට එන වේදනාව වගේම දරුණුයි කොඳු ඇට පුරුක්‌ ඈත් වුණාම එන වේදනාව.

ප්‍රශ්නය - මේවා ආත්‍රයිටිස්‌ තත්ත්වයක්‌ ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - නැහැ. වැටීමෙන්, බර ඉසිලීමෙන්, පාසල් කාලයේදී උස පැනීමක්‌ හෝ දුර පැනීමක්‌ වැරදීමෙන්, කාන්තාවන් දරුවන් ප්‍රසූත කරන විට අස්‌ථි ඈත් වීමෙන්, ඉහත සඳහන් රෝග තත්ත්වයන් මතු විය හැකියි.

ප්‍රශ්නය - මේ ලෙඩ සුව කරන්න පුළුවන්ද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - සුව කරන්න පුළුවන්. හැබැයි රෝගියාගේ ඉවසිල්ලත් තිබිය යුතුයි. සමහර රෝගීන් අප වෙත එන්නේ රෝගය හැදිලා අවුරුදු හතරක්‌ පහක්‌ ගත වුණාට පස්‌සේ අන්තිම අවස්‌ථාවේදී. ඉතින් මෙහෙම ලෙඩෙක්‌ සුවපත් කරන්න දවස්‌ දෙකෙන් බැහැ. එයට මාස කිහිපයක්‌ ගත වෙනවා. අපේ ප්‍රතිකාරය දේශීය තෙල් සහ කසාය මගින් කරන එකක්‌.

kodu2ප්‍රශ්නය - කොහොමද මේ ලෙඩ සුව කරන්නේ.

වෛද්‍ය එම්. ඒ. මදනායක - තෙල් කසාය සහ නිල වෙදකම මගින්. මේ රටේ තිබෙනවා වසර දහස්‌ ගණනක්‌ පැරැණි නිල වෙදකමක්‌. එය අකුපන්චර්වලට සමානයි. අපි රෝගියාගේ රෝගී ප්‍රදේශයේ තෙල් ගාලා සම්බාහනය කරන ගමන් නිල තෙරපනවා. මෙහෙම සෑහෙන කලක්‌ ප්‍රතිකාර කරන විට රෝගියා සුව වීමට පටන් ගන්නවා.

ප්‍රශ්නය - මෙවැනි රෝගියකු ගැන ඔබ සතුව තිබෙන අත්දැකීමක්‌ විස්‌තර කරන්න

වෛද්‍ය එම්. ඒ. මදනායක - වතාවක්‌ මා ළඟට ආවා අවුරුදු 60 ක විතර කාන්තාවක්‌. මුලින්ම ඇයට තිබී ඇත්තේ කොන්දෙ අමාරුවක්‌. කොන්ද දිගින් දිගටම රිදෙනවා. ඉන්පස්‌සේa වේදනාව කකුල් දෙකට පැතිරෙනවා. මාස කිහිපයක්‌ ගත වෙනකොට ඇවිදින්න බැරි තරමට කකුල් වේදනායි. ඉන් පස්‌සේ නැවතත් දිග අරින්න බැරි තරමට කකුල් රිදෙනවා. මේ අතර ක්‍රමයෙන් ඇයට ඇවිදින්න බැරි තත්ත්වයක්‌ එනවා. බටහිර වෛද්‍යවරුන් කියන්නේ ඇගේ කොඳුඇට පෙළේ ස්‌නායු තෙරැපීම නිසා මේ තත්ත්වය හටගත් බවයි.

ප්‍රශ්නය - ඉතින් ඔබ ඇයව සුවපත් කළාද?

වෛද්‍ය එම්. ඒ. මදනායක - ඔව්. ඒ සඳහා මාස 6 ක කාලයක්‌ ගියා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »