Home / සෞඛය / වදකහ, ඉඟුරු ආඩතෝඩාවලින් පාකින්සන් රෝගයට බෙහෙත්

වදකහ, ඉඟුරු ආඩතෝඩාවලින් පාකින්සන් රෝගයට බෙහෙත්

2017-12-19 10:37:00       625
feature-top
ප්‍රශ්නය - මොළයේ රුධිර නාල තුළ හට ගන්නා ලේ කැටිගැසීම් වැනි ආසාධිත තත්ත්වයන් මගිනුත් පාකින්සන් රෝගය වැළඳෙනවාද?

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - එවැනි අවස්‌ථා ඕනෑ තරම් තිබෙනවා. එපමණක්‌ නොවෙයි. මොළය තුළ හට ගන්නා අර්බුද සහ ගෙඩි නිසා මොළයේ ස්‌නායු පීඩනයට පත් වී පාකින්සන් තත්ත්වය මතුවෙනවා. සමහර මනෝ වෛද්‍යවරු ආතතියෙන් පෙළෙන නින්ද නොයන රෝගීන්ට අධි මාත්‍රාවලින් ඖෂධ නියම කරනවා. මේවායින් සමහරක්‌ නීති විරෝධී ඖෂධ. මේවා දිගින් දිගටම පාවිච්චි කළාමත් පාකින්සන් වැළඳෙනවා. හදිසියේ ඔලුවට සිදුවන තුවාලවලිනුත් පාකින්සන් රෝගය හට ගන්නවා. සමහරුන්ට තිබෙනවා ස්‌නායු පරිහානියට පත්වන ගතියක්‌ එතකොටත් පාකින්සන් හැදෙනවා. ඩිමෙන්ෂියාව හැදුනාමත් පාකින්සන් හට ගන්නා බව අප මීට පෙර කියා තිබුණා. ඒ වගේම පාකින්සන් හැදුනාමත් ඩිමෙන්ෂියාව හැදෙන බව මතක තබා ගත යුතුයි.

ප්‍රශ්නය - පාකින්සන් රෝගයට ගුණ දෙන ඖෂධීය ශාක ගැන පසුගිය සතිවල අප කතා කළා. ඒ අතර අප වෙබ් අඩවියක දැක්‌කා වදකහ මගින් ඉතා වටිනා ඖෂධ මේ රෝගය සඳහා සාදා ගත හැකි බව.

වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර - වදකහ වියළා කුඩුකර වරකට කුඩු ග්‍රෑම් 5 ක්‌ මී පැණි තේ හැන්දක කලවම් කර උදේ හවස අනුභව කළාම ඉතාම ගුණදායී බව ආයුර්වේදයේ කියෑවෙනවා. වදකහ කුඩු සහ වියළි ඉඟුරු කුඩු සම සමව ගෙන මී පැණි සමඟ අනුභව කළ විට මුහුණට වැළඳෙන අංශභාගය ක්‍රමයෙන් සුවපත් වන බව කියනවා. එසේම වියළි ආඩතෝඩා කුඩු කර මීපැණි සමඟ ආහාරයට ගැනීමෙන් අපස්‌මාර රෝගය සුව වන බවට ආයුර්වේද සාක්‍ෂි තිබෙනවා.

මේ සඳහා සුදුසු තවත් ඉපැරැණි ඖෂධයක්‌ තමයි අබ සහ පරවි වසුරු. මේ දෙක එකට අඹරා නලලේ ගෑම ශීර්ෂ ස්‌නායු රෝගවලට ඉතා සුදුසු බව කියෑවෙනවා. ඒ වගේම ලෙමන් යුෂ සහ ඇට, පාකින්සන් රෝග නිසා හටගත් කාංසාවෙන් පසුවන අයට ඉතාම හොඳයි. ලෙමන් යුෂ පානය කිරීමට දුන් විට රෝගියාගේ හෘද ස්‌පන්දනය යථා තත්ත්වයට පත් වෙනවා. කොත්තමල්ලි තැම්බූ වතුර මගින් පාකින්සන් රෝගියාගේ හිසේ වේදනාව සහ හිසේ බර ගතිය පහව යනවා. කැරට්‌ අල සහ කොළ කොටා යුෂ පානය කිරීමට දීම මගිනුත් ඉහත සඳහන් රෝග තත්ත්වය තුරන් වෙනවා. නුග මුල් වියළා කුඩු කර එළකිරි සමඟ පානය කිරීමෙන් පාකින්සන් රෝගියාගේ මතක ශක්‌තිය වර්ධනය වෙනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »