Home / සෞඛය / විටමින් කරල් ශරීර සෞඛ්‍යයට කිසිදු ප්‍රතිලාභයක්‌ නැහැ

විටමින් කරල් ශරීර සෞඛ්‍යයට කිසිදු ප්‍රතිලාභයක්‌ නැහැ

2018-03-13 11:53:00       797
feature-top
විටමින් කරල් මිලදී ගැනීමට නිකරුණේ වැය කරන මුදල් එළවළු හා පලතුරු මිලදී ගැනීමට යොදවන්නේ නම් වඩාත් ඵලදායී බව මහාචාර්යවරයා කියා සිටී

විටමින් කරල්වලින් මිනිසාට කිසිදු සෞඛ්‍ය ප්‍රතිලාභයක්‌ අත් නොවන බවත් ඒවා මිලදී ගැනීම තනිකර මුදල් නාස්‌තියක්‌ බවත් එක්‌සත් රාජධානියේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.

විටමින් කරල්වලින් ප්‍රචාරය කරන අයුරින් පිළිකා, ආඝාතය (ස්‌ට්‍රොක්‌) හා හෘද රෝග ඇතුළු දරුණු ආබාධවලට හෝ කිසිදු ආබාධයකට කිසිදු ආරක්‍ෂාවක්‌ නොසැලසෙන බව මෙම පර්යේෂණය මෙහෙයවූ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොරී කොලින්ස්‌ පවසයි.

මේ හේතුවෙන් විටමින් කරල් මිලදී ගැනීමට නිකරුණේ වැය කරන මුදල් එළවළු හා පලතුරු මිලදී ගැනීමට යොදවන්නේ නම් වඩාත් ඵලදායී බව මහාචාර්යවරයා කියා සිටී.

මෙම පර්යේෂණය විශේෂයෙන් පවත්වා ඇත්තේ රෝගීන් වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළැඹී ඇති විටමින් "සී", "ඊ" හා "බීටා කැරටින්"යන විටමින් වර්ගවල දිගුකාලීන බලපෑම් සම්බන්ධයෙනි. මෙම විටමින් වර්ග අතුරින් බීටා කැරටින් යනු කැරට්‌, තක්‌කාලි හා බ්‍රොකොලි යන එළවළු වර්ගවල දක්‌නට ලැබෙන වර්ණකයක්‌ වන අතර එය ශරීරය විසින් විටමින් ඒ බවට පරිවර්තනය කෙරේ. 

මෙම විද්‍යාඥයන් විසින් එක්‌සත් රාජධානියේ පළවන "ලැන්සෙට්‌" වෛද්‍ය සඟරාවෙහි පළකර ඇති සිය පර්යේෂණ වාර්තාවට අනුව 20,000 ක්‌ දෙනා යොදාගෙන සිදු කර ඇති මෙම පර්යේෂණයේදී එම පිරිසෙන් හරි අඩකට දෛනිකව විටමින් "සී", "විටමින් ඊ" හා බීටා කැරටින් යන විටමින් වර්ග වසර පහක කාලයකුත් ඉතිරි පිරිසට කිසිදු ශාරීරික බලපෑමක්‌ ඇති නොවන "ඩම්පිල්" නමැති කරල් විශේෂයක්‌ ලබා දී තිබේ. 

මෙහිදී විටමින් ගත් පිරිස පර්යේෂණ කාලය තුළදී කුමන හේතුවක්‌ නිසා හෝ මිය යැමේ අවදානමක්‌ පැවැති බව විද්‍යාඥයෝ කියා සිටිති.

වසර පහක පර්යේෂණ කාලය තුළදී විටමින් ගත් අයට පිළිකා, හෘදරෝග, ඇදුම හෝ ශ්වසන රෝග යන කිසිදු රෝගයකට එම විටමින් කරල් හරහා සුවයක්‌ ලැබී නොමැති බව අනාවරණය වූ බව මහාචාර්ය කොලින්ස්‌ කියයි. 

කෙසේ වුවද විටමින් කරල්වල කිසිදු අහිතකර බලපෑමක්‌ නොමැති බව පර්යේෂකයෝ පවසති. මැඩොනා හා ගෙරි හැලිබල් වැනි සුපිරි තරුවල ප්‍රචාරණය හේතුවෙන් 1996 හා පසුගිය වසරේදී විටමින් අලෙවිය සියයට 3 කින් ඉහළ ගොස්‌ තිබිණි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »