Home / සෞඛය / අධි රුධිර පීඩනයට හිතුමතේ ඖෂධ එපා

අධි රුධිර පීඩනයට හිතුමතේ ඖෂධ එපා

2018-03-16 11:28:00       465
feature-top
අධි රුධිර පීඩනය යනු ජීවිත කාලයක් පුරා පවතින තත්ත්වයක් වන අතර බොහෝ අවස්ථාවලදී එයට හේතුවක් සොයා ගත නොහැකිය. බොහෝ රෝගීන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අතර ඔබ රුධිර පීඩනය ක්‍රමානුකුලව පරීක්ෂා කර නොගතහොත් එය හඳුනාගැනීමට ලක් නොවී දිගටම පැවැතිය හැකිය.

සිරුරේ බර අඩුකර ගැනීම, ක්‍රමානුකුලව ව්‍යායාම කිරීම, ලුණු සහ මේදය අඩු ආහාර වේලක් ගැනීම, දුම්පානය නැවැත්වීම සහ ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමද නිසි පරිදි විවේක ගැනීම වැනි ජීවන රටාවේ වෙනස්කම්ද රුධිර පීඩනය පාලනයට ඉතා වැදගත් වේ. අධික රුධිර පීඩනය සුළු වශයෙන් පවතින, රෝගීන් සුළු ප්‍රමාණයක ඉහත සඳහන් ජීවන රටාවේ වෙනස්කම්වලින් පමණක්ම අධි රුධිර පීඩනය පාලනය කරගත හැකිය. අන් රෝගීන්ට ඉහත සඳහන් කළ ජීවන රටාවට අමතරව අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

රුධිර පීඩනය නිසි පරිදි පාලනය කර ගැනීමෙන් හෘදයාබාධ, අංශභාගය සහ වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාළ වීම වැනි දීර්ඝ කාලීන සංකූලතා වළක්වා ගැනීමට හැකිවේ. දියවැඩියාව, රුධිරයේ කොලෙස්ටරෝල් අධික බව, දුම්පානය වැනි සංකූලතාවලට දායක වන අනෙකුත් කරුණු ගැනද සැලකිලිමත් විය යුතු අතර ඒවා නිවැරදි කර ගැනීමද වැදගත් වේ. ඉහත සඳහන් වෙනත් රෝගී තත්ත්වයන් පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම ලිපියෙන් අනාවරණය කරන කරුණුවලින් ඔබට පෙනී යයි.

අධි රුධිර පීඩනයට ප්‍රතිකාර කිරීම සඳහා විවිධ කාණ්ඩවලට අයත් ඖෂධ වර්ග භාවිතා කරනු ලබයි. එක් රෝගියෙකු සඳහා අධි රුධිර පීඩනය නිසි ලෙස පාලනය කිරීමට එම ඖෂධ වර්ග එකක්, දෙකක් හෝ කලාතුරකින් ඊට වැඩි ගණනක් භාවිතා කිරීමට සිදුවිය හැකිය. තනි ඖෂධ වර්ගයකින් පාලනය නොවුණහොත් ඖෂධ වර්ග දෙකක් හෝ වැඩි ගණනක් ඔබගේ වෛද්‍යවරයා ලබාදිය හැකිය. අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ආරම්භ කරන ඖෂධ වර්ගය මෙන්ම ඉන්පසු එකතු කරන ඖෂධ වර්ග එක් එක් පුද්ගලයාගේ වයස සහ එම පුද්ගලයාට පවතින වෙනත් රෝග තත්ත්ව මත රඳා පවතී.

සිටගෙන සිටීමේදී ඇතිවන හිසේ කැරකිල්ල, ලිංගික අප්‍රාණිකත්වය සහ සිරුරේ අප්‍රාණික භාවය වැනි අතුරු ආබාධ ඇතැම් ඖෂධවලට ‍පොදු වේ. එවැනි අතුරු ආබාධ ඇති වුවහොත් රෝගියා විසින් ඒ ළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතු අතර එවිට එම ඖෂධය වෙනුවට සුදුසු වෙනත් ඖෂධයක් නිර්දේශ කිරීමේ හැකියාව තිබේ. ඔබට නියමිත ඖෂධවල අතුරු ආබාධ වෛද්‍යවරයාගෙන් අසා දැනගත යුතුය.

Thiazide diuretics, beta blockers, angiotensin Converting enzyme inhibitors (ACEI), angiotensin receptor blockers (ARBs) සහ calcium channel blockers යනු අධි රුධිර පීඩනය සඳහා සුලබව භවිතා කරන ඖෂධ කාණ්ඩ වේ. මෙම ඖෂවලට අධි රුධිර පීඩනය පාලනය නොවන විශේෂිත අවස්වලදී  methiyldopa, Prazosin වැනි ඖෂධ භාවිතා කරනු ලබයි.

Thiazide diuretics වර්ගයේ ඖෂධ වයස්ගත පුද්ගලයන්ගේ වෙනත් රෝග නිධානයන් නොමැතිව ඇතිවන අධි රුධිර පීඩනය පාලනය කිරීමට යොදා ගනු ලබයි. එහි ක්‍රියාකාරීත්වය තරමක් සෙමින් සිදුවන අතර අතුරු ආබාධද සාමාන්‍යයෙන් සුළු ඒවා වේ. කලාතුරකින් thiazide භාවිතයේදී රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යා හැකිය. Hydrochlorothiazide 12.5 mg සිට 25mg දක්වා ෙදෙනිකව උදෑසන ගැනීමට දීම සාමාන්‍ය මාත්‍රාව වන අතර මෙහි රෝගියා අපහසුතාවයට ලක් කරන අතුරු ආබාධ අවම වේ.

Beta Blockers වර්ගයේ ඖෂධ හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට වඩාත් සුදුසු වේ. මීට අමතරව මෙම ඖෂධ වර්ගය ඉරුවාරදය (මිග්‍රේන්/migraine) රෝගයට ප්‍රතිකාර වශයෙන්ද භාවිත කරයි. කෙසේ නමුත් පාලනය නොවූ හෘදය අකර්මණ්‍ය වීමේ තත්ත්වය (heart failure) සහ ඇදුම රෝගයෙන් පෙළෙන පුද්ගලයින් මෙම ඖෂධ වර්ග භාවිතා නොකළ යුතු වේ. සිරුරේ අප්‍රාණිකත්වය, මස්පිඩුවල වේදනාව, ඇවිදින විට හටගන්නා කකු‍ලේ වේදනාව සහ ලිංගික අප්‍රාණිකත්වය යනු Beta Blockers වර්ගයේ ඖෂධවලින් ඇතැම් විට ඇතිවන අතුරු ආබාධ වේ.

ACEI වර්ගයේ ඖෂධවල අතුරු ආබාධ සාපේක්ෂව අඩුය. විශේෂයෙන් රාත්‍රී කාලයේ ඇතිවන කරදරකාරී වියළි කැස්ස, සමහර රෝගන්ට මෙම ඖෂධය නැවැත්වීමට හේතුවක් වී ඇත. නමුත් ඊට සමාන ACE receptor blockers වර්ගයේ ඖෂධ භාවිතය මගින් සාමාන්‍යයෙන් මෙවැනි කැස්සක් ඇති නොවේ.

Calcium channel blockers යන ඖෂධ වර්ගයද අධි රුධිර පීඩනය පාලනය කරන ඖෂධ වර්ගයක් වන අතර ඒවා හෘදයේ ක්‍රියාකාරීත්වයටද ප්‍රයෝජනවත් වේ. මේවා මගින් කකුල් ඉදිමීම ඇතිවිය හැකිය. මෙම තත්ත්වය අනතුරුදායක නොවන නමුත් කකුල් ඉදිමුම ඇත්නම් රෝගියා වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. (එම රෝගී ලක්ෂණයද හෘද අකර්මණ්‍යතාවයේ මූලික ලක්ෂණයක් විය හැකිය.)

අධි රුධිර පීඩනයෙන් පෙළෙන ගර්භණී හා කිරි දෙන මවුවරුන්ට ලබාගත හැකි ඖෂධ වර්ග වන්නේ Calcium channcl blockers, methyldopa හෝ hydralazine ය. Thiazides ACE inhibitors සහ ARBs යන ඖෂධ වර්ග භාවිතයට නුසුදුසුය. අධි රුධිර පීඩනයට ඖෂධ වර්ග ලබා ගන්නා රෝගියෙකු ගර්භණීභාවයට පත් වුවහොත් වහාම වෛද්‍යවරයා දැනුවත් කළ යුතු වේ. මේ ආකාරයටම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩු පුද්ගලයන්ටද වෛද්‍යවරයා විසින් ඖෂධ වර්ග සහ මාත්‍රාව සුදුසු පරිදි වෙනස් කරනු ඇත.

සියලුම ඖෂධ වර්ග නිසි මාත්‍රාව අනුව නිසි ලෙසට අඛණ්ඩව භාවිතා කළ යුතුය. රුධිර පීඩනය පාලනය වූ පසුද එම ඖෂධ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන මාත්‍රාවට ගත යුතු අතර නියමිත කාල පරාසවලදී රුධිර පීඩනය පරික්ෂා කරගත යුතුය. ප්‍රතිකාර ලබාගන්නා අතරතුරදී අතුරු ආබාධ හෝ වෙනත් රෝගී තත්ත්වයන් ඇති වුවහොත් ඉක්මනින් වෛද්‍යවරයා හමුවිය යුතුය. එකවරම ඖෂධය නතර කිරීම මගින් රුධිර පීඩනය එකවරම වැඩිවීමෙන් ඉතා අනතුරුදායක සංකූලතා ඇති විය හැකිය. අධි රුධිර පීඩනය සඳහා වන බොහෝ ඖෂධ දිනකට වරක් ගත හැකි පෙති වශයෙන් හෝ ඖෂධ වර්ග කිහිපයක සංයෝජනයක් වශයෙන් හෝ ලබගත හැකිය. ඔබට ඖෂධ වර්ග කිහිපයක් ගැනීමට නිර්දේශ කර ඇති අවස්ථාවලදී මාත්‍රා මගහැරේ නම් ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර සංයෝජන වශයෙන් හෝ ලබාගත හැකිය.

පසු අවස්ථාවලදී වෛද්‍යවරයා මුණගැසී රුධිර පීඩනය පරීක්ෂා කළවිට එය සාමාන්‍ය වුවත් ඖෂධ දිගමට ලබාගැනීම සිදු කළ යුතු අතර, නැවැත්වීම සිදු නොකළ යුතුය. ඉතා සුළු අවස්ථා කිහිපයකදී පමණක් විශේෂයෙන් වැදගත් වන ජීවන ටාවේ වෙනස්කම් මගින් රුධිර පීඩනය පාලනය කරගෙන යාමේදී නැවතත් අධි රුධිර පීඩනය ඇති නොවුණහොත් මුලින් පටන්ගත් ඖෂධ වෛද්‍යවරයා විසින් නැවැත්වීමට හැකිය. නමුත් එම රෝගීන් තම රුධිර පීඩනය ක්‍රමානුකූලව පරීක්ෂා කරගත යුතුය.


උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි

More News »