Home / සෞඛය / පිළිකා ඇතුළු රෝග රැසක්‌ සුව කිරීමේ ඖෂධීය ගුණ සපිරි කංසා

පිළිකා ඇතුළු රෝග රැසක්‌ සුව කිරීමේ ඖෂධීය ගුණ සපිරි කංසා

2018-05-28 09:06:00       643
feature-top
කංසා එසේත් නැතිනම් ගංජා යනු අප රටේ සාමාන්‍ය ජනතාවට වගා කිරීම සහ ළඟ තබා ගැනීම නීතියෙන් තහනම්ව ඇති ශාකයකි. නමුත් මෙය රෝග රැසක්‌ සුවකිරීමට ගුණයක්‌ ඇති ඖෂධීය ශාකයකි. එබැවින් මෙහි ඇති ඖෂධීය ගුණය පිළිබඳව අපි අවධානය යොමුකර බලමු.
 
 වෛද්‍යතුමනි කංසා හෙවත් ගංජා, ශාකයෙහි ඇති ඖෂධීය වටිනාකම කෙසේද?
 
 කංසා එසේත් නැතිනම් ගංජා යන ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නේ කැනබීස්‌ සැටීවා (Caබබ්ඉසි Saඑසඩ්) යන නාමයෙනි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී කංසා යනු ඉතා සුවිශේෂී ඖෂධයකි. මෙය අවුරුදු දහතුන් දහසකටත් වඩා පැරැණි ඖෂධයකි. නමුත් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපේ රට යටත් කරගත් පසු කංසා ශාකය තහනම් වගාවක්‌ බවට පත්කළා. නමුත් මේ වන විට මෙම ශාකය ලොව බොහෝ රටවල ඖෂධයක්‌ ලෙස පමණක්‌ නොව වෙළෙඳ වටිනාකමකින් යුත් ශාකයක්‌ ලෙස වගාකරනු ලබනවා.
 
 කංසා ආයුර්වේදය තුළ පිළිකා නැසීමට, මොළයේ සෛල විනාශ වීම අඩුකිරීමට, ජව සම්පන්න බව ආරක්‍ෂා කිරීමට, චර්ම රෝග සුවකිරීමට, විෂබීජ නාශකයක්‌ ලෙස භාවිතයට, බඩේ අජීර්ණ සඳහා යොදාගනු ලබනවා.
 
 කංසා ආයුර්වේදය තුළ ඖෂධ සඳහා යොදා ගන්නේ එහි ඇති මත්ගතිය ඉවත් කිරීමෙන් පසුයි. ඒ සඳහා ගිතෙල්වලින් බැදගනු ලබනවා. එනම් ශෝධන ක්‍රම භාවිත කිරීම හෙවත් පිරිසිදු කරගන්නා ක්‍රම භාවිත කර කංසා ඖෂධ සඳහා යොදාගනු ලබනවා.
 
 පිළිකා නසන ගුණ 
 
 කංසා ඖෂධය පිළිකා රෝගීන් සඳහා ක්‍රම කිහිපයකින් භාවිත කරනු ලබනවා. කංසා යුෂ පානයට දීම, කංසා තම්බා දීම වැනි ක්‍රම මගින් පිළිකා රෝගීන්ට කංසා ප්‍රතිකාරය ලබා දෙනවා. ඉන් පිළිකා රෝග තත්ත්වයන් වර්ධනය පාලනය කිරීම, පැතිරී යැම පාලනය, පිළිකා නිසා මතුවන සංකූලතා වළක්‌වා ගැනීම සහ වේදනාව සමනය සිදුකරගත හැකියි. එනිසා කංසා පිළිකා නාශක ඖෂධයක්‌ බවට ලොවම පිළිගෙන තිබෙනවා. එය ආයුර්වේදය තුළ පමණක්‌ නොව බටහිර වෛද්‍ය ක්‍රමය තුළ පවා පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.
 
 මොළයේ සෛල විනාශ වීම අඩුකරයි
 
 වර්තමානයේ ලොව ඉතා වේගයෙන් පැතිරී යන රෝගයක්‌ බවට පත්ව ඇති "ඇල්ෂයිමර්" නමින් හැඳින්වෙන මොළයේ සෛල විනාශ වීමේ රෝග තත්ත්වයට කංසා ඖෂධය ඉතාමත් ගුණදායක බව අනාවරණය වී තිබෙනවා.
 
 ඇල්ෂයිමර් රෝගයේදී මොළයේ සෛල විනාශ වීම නිසා අමතක වීම, මානසික ව්‍යාකූල තත්ත්වයන් හට ගැනීම ආදිය මතුවේ. මෙම තත්ත්වයන් නිසා ඇල්ෂයිමර් රෝගීන් ජීවිතය විඳිනවාට වඩා විඳවති. මෙම රෝගී තත්ත්වය මහලුවීමේදී ඇතිවන නමුත් ඇතැම් දෙනාට ඊට පෙර මතුවේ.
 
 චර්ම රෝග සඳහා 
 
 සමේ ඇතිවන කැසීමේ රෝග රැසකට ආලේප සඳහා යොදාගන්නා ඖෂධ නිපදවීමේදී භාවිත කරන ඖෂධයක්‌ බවට කංසා යොදා ගන්නවා.
 
 ආයුර්වේද ප්‍රතිකාර වලදී ඇතැම් කැසීමේ රෝග සඳහා කංසා කොළ කොටා කසන ස්‌ථානවල ආලේප කිරීමට වෛද්‍යවරු භාවිත කරනවා.
 
 කායික ශක්‌තිය වර්ධනය 
 
 යම් පුද්ගලයකුගේ කායික සහ ලිංගික ශක්‌තිය හොඳින් පවත්වාගෙන යැම නිරෝගී ලක්‍ෂණයකි. ඒ සඳහා කංසා ඖෂධය ඉතා වැදගත් මෙහෙවරක්‌ ඉටුකරනු ලබයි. ලිංගික ශක්‌තිය සම්බන්ධව පීඩා විඳින කාන්තාවන් සහ පිරිමින් සඳහා ලබාදෙන ඖෂධවල අඩංගු අමුද්‍රව්‍යයක්‌ ලෙස කංසා භාවිත කරනවා. රණහංස රසායනය, මදනමෝදක, කාමේශ්වර මෝදකය ආදී ඖෂධවල කංසා අඩංගුයි.
 
 ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම මෙන්ම කායික ශක්‌තිය වර්ධනය කරන ප්‍රති ඔක්‌සිකාරක ඖෂධයක්‌ ලෙසද කංසා භාවිත කරනවා. මෙමගින් සමේ පැහැපත් බව, හිසකෙස්‌ වර්ධනය, සම රැලිවැටීම පාලනය ආදිය සිදුවෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමයේදී විටමින් භාවිතය මගින් ලබාගන්නා මෙම ඖෂධීය ගුණය කංසා මගින්ද ලබාගත හැකියි.
 
 බඩේ අජීර්ණයට 
 
 ආහාර වර්ග අජීර්ණය නිසා හටගන්නා නොයෙක්‌ බඩේ අජීර්ණ සඳහා කංසා කොළ කිහිපයක්‌ මීපැණි සහ දෙහි ඇඹුල් ටිකක්‌ දමා කොටා සාදාගත් අත් බෙහෙත් ලබාදීම සිදුකරනවා.
 
 එසේම කංසා කොළ ටිකක්‌ කොටා ගිතෙල් සහ මී පැණි ටිකක්‌ සමඟ මිශ්‍රකර කල්කයක්‌ ලෙස භාවිත කිරීමද ආයුර්වේදයේ සිදුකරනවා.
 
 එමගින් ශරීරය තුළ ප්‍රතිශක්‌තිය වර්ධනය වීම ඇතිවෙනවා.
 
 විෂබීජ නාශකයක්‌ 
 
 කංසා යනු ඉතා හොඳ විෂබීජ නාශකයකි. එනිසා කංසා කොළ කිහිපයක්‌ ආහාර සකස්‌ කරන විට යොදා ගැනීමෙන් ආහාරවල ඇති විෂබීජ විනාශ වීමත් ආහාරවල රසය වැඩිවීමත් සිදුවෙනවා.
 
 එනිසා අප ආහාරයට කරපිංචා යොදා ගන්නා ලෙස කංසා කොළ කිහිපයක්‌ ආහාර පිසීමේදී එක්‌කර ගැනීම අතීතයේ අපේ පැරැන්නෝ සිදුකරනු ලැබුවා.
 
 වෛද්‍යතුමනි, කංසා මෙතරම් ගුණදායක නම් එය අප රටේ තහනම් වගාවක්‌ බවට පත්කර ඇත්තේ ඇයි?
 
 මෙය ඉංග්‍රීසීන් විසින් සිදුකළ ක්‍රියාවකි. ඔවුන් අප රටේ කංසා වගාව තහනම් කර දුම්කොළ වගාව හඳුන්වා දුන්නා. දුම්කොළ යනු උග්‍ර විෂ සහිත ශාකයකි. කංසා සම්බන්ධව මේ වන විට බ්‍රිතාන්‍යය, ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, ඇමරිකාව වැනි දියුණු රටවල් සිදුකළ පර්යේෂණ අනුව එහි ඇති ඖෂධීය ගුණය හඳුනාගෙන එය ඖෂධ සඳහා යොදා ගැනීමටත් වගාවක්‌ ලෙස ව්‍යාප්ත කර අපනයන වගාවක්‌ ලෙස වෙළෙඳ වටිනාකමක්‌ ලබා ගැනීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් ඊට අදාළ නීති සම්පාදනය කර තිබෙනවා. එනිසා අප රට තුළ වගාකළ සහ හොඳින් වගා කළ හැකි කංසා ශාකය ඖෂධ සඳහා යොදා ගැනීමට හැකි පරිදි පවතින නීතිරීති සංශෝධනය කළ යුතුයි.
 
 මේ වගේ වටිනා ඖෂධීය ශාකයක්‌ වගාකිරීම තහනම් කිරීම හෝ විනාශ කිරීම තුළින් සිදුවන්නේ අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බරපතළ පාඩුවක්‌ සිදුවීම සහ මෙම ඖෂධය පිටරටින් ගෙන්වීමට සිදුවීම නිසා විශාල මුදලක්‌ වෙනත් රටවලට ඇදී යැමයි.
 
 කංසා ගුණදායක ඖෂධයක්‌ වුවත් අනවශ්‍ය ලෙස භාවිත කිරීම ශරීරයට අහිතකරයි. සමහරු මෙය මත්වන ද්‍රව්‍යයක්‌ ලෙස භාවිතයට යොමුවී සිටිනවා. එය පුරුද්දක්‌ බවට පත්කර ගෙන තිබෙනවා. එය පිළිගත නොහැකියි. එනිසා නිවැරැදි ලෙස කංසා භාවිතය සඳහා නීතිරීති සකස්‌ කර මෙය ඖෂධයක්‌ ලෙස භාවිතයට යොදා ගැනීමට පියවර ගැනීම සඳහා කාලය උදාවී තිබෙනවා.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »