Home / සෞඛය /
පෝෂණ ගුණ පිරි වට්ටක්කා

පෝෂණ ගුණ පිරි වට්ටක්කා

2018-07-16 10:57:00       911
feature-top
පසුගිය දිනවල මෙරට වට්ටක්කා වගාව පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ, එහි මිල ඉතා ශිඝ්‍රයෙන් පහළ බැසීම නිසා ය.

කුකබිටේසි කුලයට අයත් වට්ටක්කා පිළිබඳ ඉතිහාසය, මීට වසර 7,500 ක් තරම් ඈතකට දිව යයි. මෙහි නිජ භූමිය මධ්‍යම අමෙරිකාවේ මෙක්සිකෝව ය. පසු කාලීනව දේශ ගවේෂකයන් විසින් ‘අමුතු’ හැඩයක් ගත්, විශාල මෙන් ම ප්‍රණීත පල හටගන්නා වැල් වර්ගය සිය රටවලට ගෙන ගොස් ඇත. ඔවුන් මේවා බොහෝ විට බඩඉරිඟු වැනි භෝග සමඟ එකට වගා කර තිබේ. ලොව පුරා වට්ටක්කා ප්‍රභේධ කිහිපයක්ම හමු වේ.

වට්ටක්කා ඒකගෘහී හෙවත් එක ම ශාකයක පිරිමි හා ගැහැනු මල් පූදින වැල් විශේෂයකි. මෙහි පුං හා ජායා පුෂ්ප වෙන් කොට හඳුනාගත හැකි අතර, පුං හෙවත් පුරුෂ මල් පීදී කෙටි කලෙකින් ගැහැනු මල් පූදියි. මේවා පරාගණය විය යුතු ය. බොහෝ විට කෘමි සතුන් මඟින් එය සිදු වේ. කෙසේ නමුත්, ආර්ථික භෝගයක් ලෙස මහා පරිමාණයෙන් වට්ටක්කා වගා කරන විට, පරාගණය වන්නේ කෘත්‍රිමව ය. වට්ටක්කා ගෙඩි ඉතා විශාල ය. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 4-6 පමණ වන ඒවා ද හමු වේ. කලාතුරකින් කිලෝ ග්‍රෑම් 25 ක් පමණ වන ගෙඩි ද වාර්තා වී ඇත. ප්‍රමාණයෙන් කුඩා හා පැණි රසින් වැඩි වට්ටක්කා ප්‍රභේධ ද ඇත.

පෝෂ්‍ය ගුණය

වට්ටක්කා පෝෂ්‍ය ගුණයෙනුත් ඉතා ඉහළ ය. මේවා ප්‍රතිඔක්සිකාරක හා විටමින්වලින් පොහොසත් ය.අඩු කැලරි අගයක් ඇත. සාමාන්‍යයෙන් පිසින හෝ තම්බන ලද වට්ටක්කා අඬු කෝප්පයක ප්‍රමාණයක ප්‍රෝටීන ග්‍රෑම් 1.76 ක් ද, තන්තු ග්‍රෑම් 2.7 ක් ද, මේදය ග්‍රෑම් 0.17 ක් ද, ග්‍රෑම් 12.01 ක් ද අන්තර්ගත වේ. මෙහි අඩංගු වන්නේ කැලරි 49ක ශක්තියක් පමණි.

මීට අමතරව වට්ටක්කා අඬු කෝප්පයක, දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක් විටමින් A ද, 90% ක් විටමින් C ද අන්තර්ගත වේ. මීට අමතරව සැලකිය යුතු මට්ටමකින් විටමින් E, රයිබොෆ්ලෙවින්, තයමින්, විටමින් B 6, ෆෝලේට, පැන්ටොතෙනික් අම්ලය හා නියැසීන් යන විටමින් ද, පොටෑසියම්, තඹ, මැංගනීස්, යකඩ, මැග්නීසියම්, ඇලුමිනියම් හා පොස්ෆරස් යන ඛණිජ ලවණ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ.

ශරීරයේ බර අඩු කර ගැනීම

වට්ටක්කා, කෙඳි බහුල ආහාරයකි. මේ නිසා, අනෙකුත් ආහාරවලට වඩා එහි ජීර්ණ ක්‍රියාවලිය සිදු වන්නේ සෙමිනි. එබැවින්, මේවා ආහාර මාර්ගයෙහි වැඩි වේලාවක් රැඳී පැවත, කුසගින්න ඇතිවීම අවම කරයි. එසේ ම, වට්ටක්කා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට දායක කරන නිසා, ශරීර බර අඩු කර ගැනීමට වෙහෙසෙන අයට ඉතා සුදුසු ආහාරයකි.

ඇස් පෙනීම වර්ධනය කරයි

වට්ටකාවල තැඹිලි පැහැයට හුරු කහ පැහැය ලබා දෙන්නේ, එහි අඩංගු බීටා කැරොටින නිසා ය. මේවා ශරීරගත වූ විට, විටමින් A නිපදවේ. විටමින් A මිනිස් ඇසෙහි දෘෂ්ඨි විතානයේ පැවැත්මට ඉතා වැදගත් සංඝටකයකි. වට්ටක්කා කෝප්පයක් ආහාරයට ගැනීමෙන්, ශරීරය තුළ දෛනික නිර්දේශිත අගය මෙන් දෙගුණයක විටමින් A නිපදවිය හැකි ය. වට්ටක්කාවල අඩංගු ලුටෙලින් හා සියාසැන්තීන් යන ප්‍රතිඔක්සිකාරක මඟින්, ඇසෙහි සුද ඇතිවීම අතුළු අක්ෂි රෝග කිහිපයක්ම ඇතිවීම වළක්වයි.

ප්‍රතිශක්තිය වර්ධනය කිරීම

වට්ටක්කාවල අඩංගු බීටා කැරොටීන , ශරීරය තුළ දී සංස්ලේෂණය වන විටමින් A, ශරීරයට වැළඳෙන විවිධ ආසාදන, වෛරස හා බැක්ටීරියා මඟින් වැළඳෙන රෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට උදවු කරයි. මේවායේ යහමින් අඩංගු විටමින් C, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගාබාධවලට සහනය ගෙන දෙයි.

සමෙහි තරුණ බව රැක ගැනීමට

වට්ටක්කාවල ඉතා වැඩි ප්‍රමාණයක් අඩංගු බීටා කැරොටීන, හිරුගෙන් වැටෙන පාරජම්බුල කිරණ මඟින් සමට වන හානිය අවම කරයි. මේ නිසා, සම රැළි වැටීම අවම වී, තරුණ බව රැකේ. එවිට වට්ටක්කා නිතරම පාහේ ආහාරයට ගන්නා අයවලුන්ගේ සමෙහි දීප්තිමත්භාවය හා සුසිනිදුකම මෙන් ම, තෙතමනය ද යහමින් ඇත. ඒ හේතුවෙන්, තරුණ පෙනුම රැකේ.

පිළිකා අවදානම අඩු කරයි

වට්ටක්කාවල අඩංගු බීටා කැරොටින, කිහිප ආකාරයකින්ම මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය වැඩි දියුණු කිරීමෙහි ලා උපකාරී වේ. ඇසේ නිරෝගී භාවය, සමෙහි තාරුණ බව රකින බීටා කැරොටින, ඉන් නොනැවතී පිළිකා ඇති වීමේ අවදානම පහත හෙළයි. විශේෂයෙන්ම වට්ටක්කාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, මුක්තඛණ්ඩක භක්ෂණය කර උදාසීන කිරීම නිසා, පිළිකාවලට මුල් වන සෛල ඇති වීමේ අවදානම පහත හෙළයි.

දියවැඩියාව පාලනය

ඉතාම මෑතක දී කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල අධ්‍යයනයෙන්, වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි බවට විද්‍යාඥයන් මත පළ කර ඇත. දැනට හඳුනාගෙන ඇති පරිදි, වට්ටක්කා මඟින් ශරීරයේ ඉන්සියුලින් නිපදවීම කාර්යයක්ෂම කරන බවට පැවසෙන නමුත්, එය තවමත් පර්යේෂණාත්මකව සොයාගෙන නැත. කෙසේ වුව ද, දියවැඩියා රෝගීන්ට වට්ටක්කා ආහාරයට ගැනීමෙන්, ඇති වන අපහසුතා අවම වේ.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »