Home / සෞඛය / ගුණ සපිරි දූරියන්

ගුණ සපිරි දූරියන්

2018-07-30 11:53:00       385
feature-top
මේ දිනවල හැම හැම තැන ම දූරියන් දැකිය හැකි වුව ද, ඒවායේ ඇති අමිහිරි ගන්ධය නිසා ම, වැඩි දෙනෙක් මේ පලතුර කඋමට දක්වන්නේ තරමක අකමැත්තකි. එහෙත්, දූරියන්වල සැබෑ ගුණ දන්නා උදවිය නම්, කොතැන දැක්කද දූරියන් කෑමට දෙපාරක් හිතන්නේ නැත. ඉතාම රසවත් පලතුරක් වන දූරියන්වල පෝෂණීය ගුණය වගේ ම, ඖෂධීය ගුණය ද බොහෝ ය.

දූරියන් යනු බර ආහාරයක් නොවන නිසා, දිරවීම පහසු ය. කුඩා ළමයකු වුවත් දූරියන් ආහාරයට ගත්විට, ආහාර අජීරණයක් ඇති නොවේ. දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගැනීමට සුදුසු දූරියන්, ශරීරයේ නිසි බර පවත්වා ගැනීමට බෙහෙවින් ම උපකාරි වේ. එසේ ම, අඩු බර සහිත දරුවන්ගේ බර වැඩි කර ගැනීම සඳහා ආහාරයට ගත යුතු සුදුසු ම ආහාරයක් විදිහට දූරියන් හැඳින්විය හැකි ය.

දූරියන්, අධි ප්‍රෝටීනමය ආහාරයකි. මේ ප්‍රෝටීන පහසුවෙන් ජීරණය කළ හැකි ය. ශරීරයේ මාංශ පේශි වර්ධනය සඳහා ද මේවා උපකාරී වේ. මාංශ පේශිවල මනා ක්‍රියාකාරීත්වය සඳහා වැදගත් වන විටමින් කාණ්ඩ මෙහි අඩංගු ය. එසේ ම, විටමින් සී ඇතුළු ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග බොහෝමයක් ද මේ පලතුරෙහි අඩංගු වේ. පිළිකා හට ගැනීමේ අවදානම අවම කිරීමටත්, ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරමින්, නිරෝගීව තැබීමටත්, ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති මේ පලතුරට හැකියාවක් ඇත. දූරියන් තන්තුමය ආහාරයකි. එබැවින්, මළබද්ධය ඇති වීම වැළකේ. එසේ ම, දූරියන් ආහාරයට ගැනීමෙන්, බඩවැල් ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා අවධානමෙන් ද මිදීමට හැකි ය.

මෙහි අඩංගු ෆෝලික් ඇසිඩ්, යකඩ සහ කොපර් මඟින්, ශරීරයේ රතු රුධිර සෛල ප්‍රමාණය වැඩි කිරීමට දායකත්වයක් ලබා දෙයි. එමඟින් රක්තහීනතාව ඇති වීම ද වැළකේ. මේවා ආහාරයට ගැනීමෙන්, හෘදය නිරෝගීව තබා ගැනීමට හැකි වේ. අධි රුධිර පීඩනයෙන් පීඩා විඳින අයට , දූරියන් හොඳ ඔසුවකි. දූරියන්වල කොලෙස්ටරෝල් අඩංගු නැත.

අස්ථිවල වර්ධනයට සහ නිරෝගීමත් බව සඳහා වැදගත් වන කැල්සියම්, මැන්ගනීසියම්, පොටෑසියම්, කොපර්, පොස්පරස් වැනි සංඝටක අඩංගු වීම නිසා, අස්ථිවල ශක්තිමත් බවට හා නීරෝගීමත් බවට ද මේවා බෙහෙවින් ම වැදගත් ය. එමඟින් ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ බොහෝ රෝගාබාධ වැළඳීම වළකයි. දූරියන් ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ මෙන් ම කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වේ. ඉදුණු දූරියන් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 150ක් පමණ අඩංගු ය. එබැවින්, මේ පලතුර, ශක්තිජනක ආහාරයක් ලෙස ද හැඳින්විය හැකි ය.

ඊ කාණ්ඩයේ විටමින අපේ ශරීරයට අත්‍යවශ්‍ය සේ ම, ඉතාමත් ම වැදගත් ය. ඒවා හෘදයේ, සමේ සහ ස්නායු පද්ධතියේ නිරෝගීමත් බවට බොහෝ සෙයින් දායක වේ. දූරියන්වල ඊ කාණ්ඩයේ විටමින වැඩි ප්‍රතිශතයකින් අන්තර්ගත වීම ද විශේෂත්වයකි. අවිවේකී බව සහ අසහනය නිසා හටගන්නා මානසික ආතතිය හේතුවෙන් නින්ද නොයෑමේ ගැටලුවලින් පීඩා විඳින්නන්ට, දූරියන් ආහාරයට ගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකි ය. මෙවැනි බොහෝමයක් ගුණ ඇති, රසවත් දූරියන් ආහාරයට ගැනීමට ඉඩ ලැබෙන්නේ, අවුරුද්දේ එක කාලයකට පමණයි. ඒ නිසා, දුටු තැනකදී දූරියන් ආහාරයට ගන්න දෙවතාවක් සිතිය යුතු නැත.


උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »