Home / සෞඛය / ‘තැලසීමියාව’ – ඔබට මට කළ හැක්කේ කුමක්ද?

‘තැලසීමියාව’ – ඔබට මට කළ හැක්කේ කුමක්ද?

2018-12-07 10:30:00       123
feature-top
‘තැලසීිමියාව’ මේ වන විට ලංකාවේ ප‍්‍රධාන සෞඛ්‍ය ගැටලූවක් බවට පත් වෙමින් තිබෙන රෝගයක්. නොදැනුවත්භාවය, නොසැලකිලිල්ල වැනි කරුණු නිසා මෙය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි සෞඛ්‍ය අංශ කියන්නේ. ඒ නිසා අපි සමාජයක් විදිහට තැලසීමියාව ගැන ප‍්‍රමාණවත් අවබෝධයකින් සිටිය යුතුයි. ඒ අවබෝධය පුද්ගලිකව නොවුණත් ඉතා වැදගත් එක් අවස්ථාවකදී විශ්වාස කළ නොහැකි තරම් යහපත් ප‍්‍රතිඵල උදා කළ හැකියි.

මොකක්ද මේ තැලසීමියාව කියන්නේ ?
තැලසීමියාව සැලකෙන්නේ ශරීරයේ රතු රුධිරාණුවලට බලපාන රෝගයක් විදිහටයි. එය ‘ප‍්‍රවේණික රෝගයක්’ ලෙස සැලකිය හැකියි. ප‍්‍රවේණි රෝගයක් කියලා කියන්නේ දෙමාපියන්ගෙන් ප‍්‍රවේණිකව උරුම වන රෝගයකටයි.

තැලසීමියා රෝගීන්ගේ රතු රුධිරාණු පවතින්නේ අසාමානවයි. ඒ වගේම ඒවා ඉතාම ඉක්මනින් විනාශ වෙනවා. රතු රුධිරාණු මේ ආකාරයෙන් ඉක්මනින් විනාශ වීම නිසා සිදුවන හානිය වන්නේ සිරුර තුළ පවතින හිමෝග්ලොබින් ප‍්‍රමාණය ඉක්මනින් පහත වැටීමයි. එහි ප‍්‍රතිඵලය වන්නේ ‘නීරක්තිය’ ඇතිවීමයි.

තැලසීමියා රෝගී දරුවකු බිහිවී මාස 5-6 අතර කාලයක් යන විට ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ ප‍්‍රකට වෙන්න පටන් ගන්නවා.

මෙය භයානක රෝගයක් ද ?
ඔව්, තැලසීමියාව සැලකෙන්නේ දරුණු රෝගයක් විදිහටයි. මෙවැනි රෝගියෙකුට තමන්ගේ ජීවිත කාලය පුරාම නොකඩවා රුධිර පාරවිලනය කිරීමට සිදු වෙනවා.

තැලසීමියාවේ රෝග ලක්ෂණ මොනවාද ?
තැලසීමියා රෝගියකු තුළ පහත සඳහන් රෝග ලක්ෂණ දැකිය හැකියි.
1. ඔවුන්ගේ ශරීරය නියමිත පරිදි වර්ධන වන්නේ නැහැ.
2. රතු රුධිරාණු වේගයෙන් බිඳ වැටීම නිසා සුදුමැලි සිරුවක් ඇති වෙනවා.
3. ඇස්වල මද කහ පැහැයක් දැකිය හැකියි.
4. ‘යකඩ ’ වැඩි වීම මෙම රෝගීන් තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක්.
5. මෙම යකඩ මිනිස් සිරුරේ ප‍්‍රධාන / තීරණාත්මක ඉන්ද්‍රියන් සේ සැලකෙන අක්මාව, අග්න්‍යාසය, හෘදය ආදි ඉන්ද්‍රියන් වල යකඩ තැන්පත් වෙලා ඒවායේ ක‍්‍රියාකාරීත්වයට ද බාධා ඇති වීම.

තැලසීමියා රෝගීන්ට කළ හැකි ප‍්‍රතිකාර මොනවාද ?
තැලසීමියා රෝගීන්ට සාර්ථක ලෙස ප‍්‍රතිකාර කිරීම මගින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ ගුණාත්මක වශයෙන් වර්ධනයක් සිදු කළ හැකියි. තැලසීමියා රෝගය හේතුවෙන් රතු රුධිරාණු බිඳවැටීම නිසා මාසිකව රුධිරය පාරවිලනය කිරීමට සිදුවෙනවා. එය ජීවිත කාලය පුරාම අඛණ්ඩව සිදු කළ යුතුයි. ඊට අමතරව තැලසීමියා රෝගීන් දිනපතාම Iron Chelation Theraphy නම් ප‍්‍රතිකාරයට ද මුහුණ දිය යුතුයි. එමෙන්ම ‘ෆෝලික් අම්ලය’ ද ඔවුන් දිනපතා ලබා ගත යුතුයි.
තැලසීමියා රෝගය සම්පූර්ණයෙන් ම සුවකර ගැනීමේ අවස්ථාවක්ද පවතිනවා. ඒ සඳහා ඇටමිදුළු බද්ධ කිරීම කළ යුතුයි. මෙය අධික වියදමක් දැරිය යුතු ප‍්‍රතිකාරයක් නිසා මේ සඳහා යොමුවන පිරිස බොහොම අඩුයි.

තැලසීමියා රෝගී දරුවකු තුළ දැකිය හැකි රෝග ලක්ෂණ මොනවාද ?
තැලසීමියාව හා සම්බන්ධ රෝග ලක්ෂණ ප‍්‍රකට කිරීම සිදුවන්නේ සාමාන්‍යයෙන් ළදරුවාට මාස 05 ක් පමණ වූ විටයි. මෙහිදී රෝග ලක්ෂණ වශයෙන් පහත සඳහන් ඒවා දැකිය හැකියි.
1. මෙම දරුවන් සුදුමැලියි.
2. කිරි පෙවීමේදී ගැටලූ ඇති වෙනවා.
3. උදරය තරමක් විශාලයි.
4. අලස බවින් යුතුයි.

මෙවැනි රෝග ලක්ෂණ සහිත ළදරුවකු වේ නම් වහාම ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි.

රෝගී දරුවකු හඳුනා ගැනීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ මොනවාද ?
මෙහිදී මුලින්ම කරන්නේ ළදරුවාගේ ‘ප්ලීහාව’ ඉදිමී තිබෙනවා ද කියා සොයා බැලීමයි. ඊට අමතරව පහත සඳහන් වෛද්‍ය පරීක්ෂණ සිදු කළ යුතු වෙනවා.
* හිමෝග්ලොබින් පරීක්ෂාව Hb
* Blood Picture
* Haemogobin Electro Phoresis

රෝග පරීක්ෂාවෙන් පසු තැලසීමියාව හඳුනා ගත් පසු රුධිරය ලබාදීම සිදු වෙනවා. මසකට වරක් රුධිය ලබාදිය යුතු බවට උපදෙස් දෙනවා.

‘තැලසීමියා මයිනර්’ Thalassemia Minor  යනුවෙන් හැඳින්වෙන රෝගයක් තිබෙනවාද ?
ඔව් එවැනි රෝගයක් තිබෙනවා. මේ නමින් අදහස් කරන්නේ තැලසීමියා රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන නැතහොත් පහළ නොකරන රෝගයක්. මෙවැනි පුද්ගලයින්ගේ රුධිරය පරීක්ෂා කළ විට පෙනී යන්නේ රතු රුධිරාණුවල එක් අසාමාන්‍ය ජානයක් පමණක් පවතින බවයි.
මෙහි ඇති අනතුරුදායක තත්ත්වය තමයි ‘තැලසීමියා මයිනර්’ රෝගීන් ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද හොඳ සුවයෙන් සිටිනවා. නමුත් ඔහු සැලකිය හැක්කේ ඉදිරි පරම්පරාව සඳහා රෝගය ගෙන යන රෝග වාහකයෙකු ලෙසයි.
මෙවැනි රෝගීන් හඳුනාගත හැකි එකම ක‍්‍රමය වන්නේ රුධිර පරීක්ෂාවයි. මෙවැනි පරීක්ෂාවක් මගින් ඉතාම පහසුවෙන් ‘තැලසීමියා මයිනර්’ රෝගීන් හඳුනාගත හැකියි. මෙම පරීක්ෂාව මගින් 11:4 gm/d1 පමණ විය යුතු රුධිරගත හිමෝග්ලොබින් අගය සුළු වශයෙන් අඩුවී 9-10 gm/d1 පමණ අගයක් පෙන්වනවා. ඒ අතර HbA2 අගය ඉහළ යනවා. මෙවැනි අය සඳහා කිසිම ආකාරය ප‍්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

තැලසීමියා රෝගය ප‍්‍රවේණික වන්නේ කොහොමද ?
තැලසීමියාව සැලකෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක් විදිහටයි. මේ සඳහා බලපාන කාරණා දැන් හඳුනාගෙන තිබෙනවා. මිනිස් සිරුරේ රතු රුධිරාණු සෛල සෑදීමට හේතු වන ජාන දෙකක් හඳුනා ගෙන තිබෙනවා. මේ ජාන වලින් එකක් ලැබෙන්නේ මවගෙන්. අනෙක පියාගෙන්. මේ අනුව මවත් පියත් යන දෙදෙනාම පරම්පරාවෙන් මේ ජානය උරුම කර ගෙන සිටින්නේ නැතිනම් ඔවුන්ගෙන් තම දරුවන්ට උරුම වන්නේ නීරෝගී ජාන.
එහෙත් මාපියන් දෙදෙනාගෙන් එක් අයෙක් තැලසීමියා රෝග ලක්ෂණ ප‍්‍රකට කළත් / නොකළත් රෝගයට පාදක වන ජානය උරුම කරගෙන සිටිනවා නම් උපදින දරුවාගේ එක් ජානයක් තැලසීමියා ජානය සහිත විය හැකියි. එවිට ඔහු වාහකයෙකු වශයෙන් සිටින අතර ඔහු Thalassemia trait හෙවත් Thalassemia Minor සහිත පුද්ගලයෙකු වශයෙන් හඳුන්වනවා. දරුවාට උරුම වන ජාන ද්විත්වයම අසාමාන්‍ය නම් ඔහු Thalassemia – major තත්ත්වයට මුහුණ දුන් රෝගියෙකු ලෙස සැලකෙනවා.
තැලසීමියා රෝග ලක්ෂණ පහළ නොකරතත් වාහකයන් දෙදෙනකුට දාව උපදින දරුවකු වේ නම් ඔහු තැලසීමියා රෝගියෙකු වීමේ සම්භාවිතාව සියයට 25 ක් වන අතර තැලසීමියා රෝගියකු නොවීමේ සම්භාවිතාව ද සියයට 25 ක් වෙනවා. ඔහු තැලසීමියා වාහකයෙකු වීමේ සම්භාවිතාව සියයට 50 ක් වෙනවා.

තැලසීමියා රෝගය ව්‍යාප්ත වීම පාලනය කළ හැක්කේ කෙසේද ?
තැලසීමියාව ප‍්‍රවේණිකව උරුම වන රෝගයක්. එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ නැහැ. ඒ නිසා තැලසීමියාව ව්‍යාප්ත වීම පහසුවෙන් පාලනය කළ හැකියි.
ලංකාවේ මේ වන විට හඳුනාගත් තැලසීමියා රෝගීන් 3000 ක් පමණ සිටිනවා. වාර්ෂිකව 16 දෙනකු පමණ අලූත් එකතු වෙනවා. ඒ අයගෙන් අති බහුතරය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන්.
මෙහිදී තැලසීමියාව ඉතාම පහසුවෙන් ව්‍යාප්ත වීම පාලනය කළ හැක්කේ තැලසීමියා රෝග වාහකයන් අතර විවාහය නතර කිරීම මගිනුයි. තැලසීමියා වාහකයින් කිසිම අවස්ථාවක තවත් තැලසීමියා වාහකයෙකු සහකරු හෝ සහකාරිය වශයෙන් තෝරා නොගත යුතුයි.

තැලසීමියා රෝගියකුට අවශ්‍ය කරන උපකාර මොනවාද ?
සාමාන්‍ය තත්ත්වය තුළදී මොවුන්ට ධෛර්යය ලබාදිය යුතුයි. ඒ වගේම මානසික උපකාරය අත්‍යාවශ්‍ය වෙනවා. ආහාර සමග තේ බීමට දීම වඩාත් යෝග්‍යයි. යකඩ සාර ආහාර ලබාදීමෙන් වැළකිය යුතුයි.
රුධිය පාරවිලනය අත්‍යවශ්‍ය කාර්යයක්. Hb අගය 8.9 /dL හෝ ඊට අඩුනම්, වර්ධනය අඩු නම්, ප්ලීහාව ඉදිමීමට ලක්වී නම් හෝ අඩු වර්ධනයක් සහිත අස්ථි දක්නට ලැබේ නම් රුධිර පාරවිලනය කළ යුතුයි.
පළමු රුධිර පාරවිලනයේදී රුධිර ඝනය/ වර්ගය සොයා බලනවා. සාමාන්‍ය Hb අගය 12-12.5 g/dL අතර පවත්වා ගැනීමට වග බලාගත යුුතුයි. සති 4-6 අතර කාලයකදී නැවතත් රුධිරය පාරවිලනය කළ යුතුයි.
මෙම රෝගීන්ට පූර්ව ආරක්ෂාවක් ලෙස ‘හෙපටයිටිස් බී’ එන්නත ලබාදිය යුතුයි.

තැලසීමියා – මේජර් රෝගියෙකුගේ ජීවිතයේ ගුණාත්මකභාවය දියුණු කරගත හැකිද ?
පුළුවනි. නියමිත පරිදි ප‍්‍රතිකාර ලබන තැලසීමියා රෝගි දරුවකුට හොඳින් වැඞීමට හැකියාව තිබෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලැබීම මෙන්ම අනෙකුත් පුද්ගලයින් සේම ජීවත්වීමට හැකියාව තිබෙනවා.
එහෙත් තැලසීමියා රෝගියෙකු සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා නිතර නිතර වෛද්‍ය පරීක්ෂණවලට භාජනය වීමට සිදුවෙනවා. මෙවැනි වෛද්‍ය ප‍්‍රතිකාර නිසි පරිදි සිදුවන්නේ නම් තැලසීමියා රෝගි පුද්ගලයෙකුට අවුරුදු 70 කට අධික කාලයක් ජීවත්වීමේ අවස්ථාව හිමි වෙනවා.

තැලසීමියා රෝගීන් සඳහා වන ප‍්‍රතිකාර
Desferroxamine සමග ලබා දෙන Iron Clellation ප‍්‍රතිකාරය
මෙහිදී Serum Ferritin අගය 1000 ng/mL පමණ වන විට මෙම ප‍්‍රතිකාරකය ආරම්භ කළ හැකියි. එම අගය 2000 අගයේ පමණ පවත්වා ගත යුතුයි. දෛනිකව ලබාදෙන උපත්වවීය නික්ෂේපණ මාත‍්‍රාව 20-60 mg/kg (වරකට පැය 8-10 වන සේ සතියකට පැය 3-7) අධිමාත‍්‍රා ලබාදිය යුතුය. ඒ කෙටිකාලීනවයි. රුධිර පාරවිලන අවස්ථාවේදී අන්තර් ශිරා ලෙස 50 mg/kg ලබාදිම සිදුවෙයි.
පිලා විච්ඡේදනය – අවශ්‍ය කෙරන රුධිර ප‍්‍රමාණය වැඩි වන්නේ නම්, ප්ලීහාව ඉදිමී පවතී නම්, ශ්වේතාණු, පට්ටිකා අඩුවීමක් දක්නට ලැබේ නම් මෙම සැත්කම කළ යුතුයි. සැත්කමකට සති 4-6 කට පමණ පෙර සිට Pneumocei menningococci සහ Haemophiln influenza  සඳහා ප‍්‍රතිකාර ලබාදිය යුතුයි. සැත්කමෙන් පසුව අවම වශයෙන් වසර දෙකක් වත් ‘නිරාවරණ ප‍්‍රතිජීවක’ ලබාදීම සිදු වෙනවා.

රෝගියා සම්බන්ධ අවධානය යොමු කළ යුත්තේ කෙසේද ?
*සෑම ප‍්‍රතිකාරයක් සම්බන්ධයෙන්ම නිවැරදි වාර්තා තබා ගැනීම ඉතාම වැදගත්.
* සෑම මාස දෙකකට වරක්ම රෝගියාගේ උසහ සහ බර මැන ගන්න.
* සෑම මාස 06 කට වරක්මSerum Ferritin, Calcium, Phosphorus, Boold suger, Liver, Thyroid function test කළ යුතුයි.
* වාර්ෂිකව ප‍්‍රගතිය සමාලෝචනය කළ යුතුයි.
* දෝෂ සහිත තත්ත්ව මතු වූ විට ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයි.

තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඔබට කළ හැකි දේ කුමක්ද ?
තැලසීමියා දරුවන්ට නිරන්තරයෙන් රුධිර පාරවිලනය කළ යුතුයි. ඒ වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම ඔබට කළ හැකි වටිනාම මෙහෙයයි. ඒ වගේම මෙම දරුවන්ගේ සිරුර තුළ එක්රැුස් වන වැඩිමනක් යකඩ ඉවත් කිරීම සඳහා යොදාගන්නා ප‍්‍රතිකාරක යන්ත‍්‍ර ආදිය ලබා ගැනීම සඳහා ඔබට පරිත්‍යාග කළ හැකියි.

ඔබට කළ හැකි වටිනාම මෙහෙවර කුමක්ද ?
වහාම රුධිර පරීක්ෂාවක් කර ගන්න. තැලසීමියා වාහකයෙක්ද ? නැද්ද ? යන්න පරීක්ෂා කර ගන්න. ඔබ තැලසීමියා වාහකයෙක් නම් විවාහයේදී තවත් තැලසීමියා වාහකයෙකු තෝරා නොගැනීමට ප‍්‍රවේශම් වන්න.

(under the courtesy of hirutv.lk blog web)

More News »