Home / සෞඛය / ඇතුවත් බැරි නැතුවත් බැරි ෆ්ලෝරයිඞ්

ඇතුවත් බැරි නැතුවත් බැරි ෆ්ලෝරයිඞ්

2018-12-21 10:03:00       610
feature-top
ෆ්ලෝරයිඞ් යනු මිනිස් සිරුකට ඇතුවත් බැරි නැතුවත් බැරි සංඝටකයකි. එලෙසම ෆ්ලෝරයිඞ් යනු ස්වභාවික පොළොවෙන් ලැබෙන ‘‘හැලජන කාණ්ඩයට’’ අයත් අතිිශයින්ම ක‍්‍රියාකාරී මූලද්‍රව්‍යයකි.
ෆ්ලෝරයිඞ් යමෙකුගේ ශරීරයේ ප‍්‍රශස්ත අගයක පවතින විට දත් හා අස්ථි වලට ඉතා හිතකර ලෙස ක‍්‍රියා කරන අතර ෆ්ලෝරයිඞ් යම් මිනිස් සිරුරක අතිරික්තව පවතින විට දත් හා අස්ථී වලට අහිතකර වීමට අමතරව තවත් ආබාධ රැුසකටම මග පාදන්නට ද හේතු වේ. ෆ්ලෝරයිඞ් අධි සාන්ද්‍රණයකින් කෙනෙකුගේ මරණය පවා සිදු විය හැකි බව වෛද්‍ය මතයයි.

ෆ්ලෝරයිඞ් හා පානීය ජලය
අපට සාමාන්‍යයෙන් ෆ්ලෝරයිඞ් ලබා දෙන පහසුම මාර්ගය වන්නේ පානීය ජලයයි. ඊට අමතරව අප ආහාරයට ගන්නා කොළ, එළවළු, පළා වර්ග, තේ, මාළු ආදී ආහාර පාන මගින් සිරුරට අවශ්‍ය ෆ්ලෝරයිඞ් අපට ලබා දේ. එහෙත් සෑම මිනිස් සිරුරකටම වැඩිම හා හොඳම ප‍්‍රශස්තම ෆ්ලෝරයිඞ් ප‍්‍රමාණයක් ලබා දෙන්නේ පානීය ජලය මගිනුයි.
පානීය ජලය කොටස් දශ ලක්ෂයක ෆ්ලෝරයිඞ් කොටස් 1 ක් අඩංගුය. මේ අනුව පානීය ජලයේ තිබිය යුතු ප‍්‍රශස්ත ෆ්ලෝරයිඞ් මට්ටම වන්නේ ජලය ලීටයරකට ෆ්ලෝරයිඞ් මිලි ග‍්‍රෑම් 0.5 සිට 1 දක්වා අගයකි.

සමහර රටවල පානීය ජලයේ ෆ්ලෝරයිඞ් නිසියාකාරව නොමැති විට නළ ජලයට ෆ්ලෝරයිඞ් එකතු කරන අවස්ථාද නැතුවා නොවේ. සමහර විට සාමාන්‍ය ලූණූ හා පිටිවලට පවා ෆ්ලෝරයිඞ් එකතු කරන අවස්ථා ඇත.
තවත් සමහර අවස්ථාවල දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත සමහර දරුවන්ට ෆ්ලෝරයිඞ් අඩංගු ඖෂධ  (පෙති) ලබා දෙන අවස්ථා ද අපට හමු වේ. ශ‍්‍රී ලංකාවේ එවැනි ක‍්‍රියාමාර්ග අමුතුවෙන් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවේ. හේතුව පානීය ජලය තුළ අවශ්‍ය පමණින් ෆ්ලෝරයිඞ් සංඝටක අඩංගුව තිබීමයි.
එහෙත් සමහර අවස්ථාවල අවශ්‍ය තරම් ෆ්ලෝරයිඞ් නොලැබීමෙන් ප‍්‍රධාන වශයෙන් දන්ත සෞඛ්‍යයට හානි පැමිණෙන අතර ඊට හොඳම පිළියම් ලෙස සැලකෙන්නේ ෆ්ලෝරයිඞ් අඩංගු දන්තාලේප භාවිතයයි. මෙය ඉතා පහසුම හා ලාභදායීම ක‍්‍රමය නිසා ‘‘ලොව හොඳම ෆ්ලෝරයිඞ් වාහකයා’’ ලෙස සැලකෙන්නේ ඒවා අඩංගු දන්තාලේපයි.
ෆ්ලෝරයිඞ් ඌණතාවය නිසා විශාල වශයෙන් දත් දිරා යාමේ තර්ජනයට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් දන්තාලේපවලට අමතරව වාර්නිෂ්, ජෙලි හා මුඛ සෝදන දියර වර්ග ෆ්ලෝරයිඞ් අඩංගු කර නිපදවා ඇත.


ෆ්ලෝරයිඞ් අවශ්‍යතාවය මොන වගේ ද ?
එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් අපේ දත්වල සිදු වන ක‍්‍රියාවලි දෙකකි.

1. දතෙන් ලවණ (කැල්සියම් හා පොස්පරස්) ඉවත් වීම.
2. නැවත දතමත ලවණ තැන්පත් වීම.

අපේ දත්වල එනමලයෙන් හෝ දන්තීනයෙන් ලවණ ඉවත් වන්නේ මුඛය තුළින් වෑහෙන අම්ලවල ක‍්‍රියාකාරිත්වය නිසායි. මෙම අම්ල මුඛය තුළ සෑදෙන්නේ අප ගන්නා ආහාර පාන තුළිනුයි. අප ගන්නා ආහාර පාන තුළින් මුව තුළ අම්ල නිපදවන්නේ දත් හා විදුරුමස් දාරය මත තැන්පත් වන ‘‘දන්තපථය’’ නම් වූ දත් මැලියම් මත වැඩෙන බැක්ටීරියා මගින් සීනි ඇතුළු කාබෝහයිඩ්‍රේට් වර්ග ජීර්ණයට ලක් කිරීමෙනි.
සාමාන්‍යයෙන් ආහාර ගිලීමේ පහසුව ඇති කිරීම පිණිස මුඛය තුළ ‘‘ඛේට ග‍්‍රන්ථි’’ මගින් ඛේටය ස‍්‍රාවය කරයි. මෙම ඛේටය ප‍්‍රමාණවත් ලෙස ස‍්‍රාවය කරන්නේ නම් හා එම ඛේටයේ ප‍්‍රමාණවත් ලෙස කැල්සියම් හා පොස්පරස් අඩංගු වන්නේ නම් දත්වල ආරක්ෂාවට ප‍්‍රමාණවත් රැකවරණයක් ලැබේ. මෙහිදී දතේ එනමලය මත පහසුවෙන් ෆ්ලෝරයිඞ් තැන්පත් වේ.

මෙසේ ලවණ තැන්පත් වීමේ ක‍්‍රියාවලියට වඩා වේගයෙන් ලවණ ඉවත් වීමේ ක‍්‍රියාවලිය සිදු වුවහොත් දත් මත කුහර   ඇති වීම සිදු වේ.
නිසි ලෙස ෆ්ලෝරයිඞ් ආරක්ෂාවක් ලැබේ නම් ෆ්ලෝරයිඞ් මගින් දන්ත එනමලය අම්ලවලට ප‍්‍රතිරෝධී කිරීමත් දත් මතුපිට ලවණ තැන්පත් වීම වේගවත් කිරීමත් දතෙන් ලවණ ඉවත් වීම අවම වීමත් සිදු වේ.
කුඩා දරුවෙකුගේ දත් දිරා යාම ආරම්භ වන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 3 සිටය. වයස අවුරුදු 3 ට අඩු දරුවන්ගේ දත් දිරා යාම ආරම්භක අවස්ථාවේ දී ඇති වන දත් මත සුදු පැහැ පැල්ලම් ලෙස හඳුන්වන මුල්ම දත් දිරීම නැවැත්වීමට ෆ්ලෝරයිඞ් ආරක්ෂාවක් ලැබීම දන්ත සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරයි.
සාමාන්‍යයෙන්  ඕනෑම පුද්ගලයෙකුගේ දත් හා අස්ථී වර්ධනය වන මුල් අවස්ථාවේදී පානීය ජලය මගින් හා ආහාර පාන මගින් සිරුරට ලැබෙන ෆ්ලෝරයිඞ් අවශෝෂණය කර ගැනීමේ හැකියාවක් දන්ත අස්ථී වලට ඇත. දත් හා අස්ථීි වර්ධනය වන අවධියේදී මෙලෙස උරා ගන්නා ෆ්ලෝරයිඞ් මෙන්ම දන්තාලේප මගින් ලැබෙන ෆ්ලෝරයිඞ් ද අපේ දත් හා අස්ථීවලට සුවිශේෂ ආරක්ෂාවක් ලබා දෙයි. ෆ්ලෝරයිඞ් කීප ආකාරයකින්ම දත් දිරා යාම වළකයි.

දත් මත ලවණ තැන්පත් වීම වේගවත් වීම
දත් ඛේටයෙන් තෙත්ව පවතින විට ඛේටයේ හා දන්තපථ වල ඇති ෆ්ලෝරයිඞ් දත් දිරා යන ස්ථානයට අවශෝෂණය වේ. එවිට එම ෆ්ලෝරයිඞ් මගින් ඛේටයේ අඩංගු කැල්සියම් හා පොස්පරස් දත් මත තැන්පත් වීමට ආකර්ෂණය කරවයි. දිනපතාම මෙසේ ෆ්ලෝරයිඞ් අවශෝෂණය යහපත් ලෙස සිදු වන විට අවශ්‍ය තරමින් ෆ්ලෝරයිඞ් ඛේටයට එතු වේ.

අම්ල ප‍්‍රතිරෝධී  එනමලයක් සකස් වීම
මුඛයේ බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වය මගින් නිපදවෙන අම්ල මගින් දන්ත එනමලයේ ලවණ ඉවත් වූ පසු ෆ්ලෝරයිඞ් ක‍්‍රියාකාරී වී නැවත ලවණ තැන්පත් වීමෙන් වඩාත් ශක්තිමත් එනමලයක් සෑදේ. මෙම එනමලය පෙර තිබූ එනමලයටත් වඩා ප‍්‍රතිරෝධී ශක්තියකින් යුක්තය. පෙර තිබූ එනමලයේ තිබූ ‘‘කැල්සියම් ඇපටයිට්’’ වෙනුවට එහි තිබෙන්නේ ‘‘කැල්සියම් ෆ්ලෝරෝ ඇපටයිට්ය’’. එම තත්ත්වය අම්ල මගින් සිදුවන දියවීමට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්තය.

අම්ල නිපදවීමේ හැකියාව අඩු කිරීම
දන්ත පරිපථයේ නිසි පරිදි ෆ්ලෝරයිඞ් ක‍්‍රියාත්මක වන විට දන්ත පථයේ වෙසෙන බැක්ටීරියාවලට සීනි ඇතුළු කාබෝහයිඩ්‍රේට් වර්ග දුර්වල කර අම්ල නිපදවීමේ හැකියාව අඩු වේ.
මෙයට හේතුව බැක්ටීරියාවල ක‍්‍රීයාකාරිත්වය මන්දගාමී කර බැක්ටිරියා වැඞීමට අවශ්‍ය සාධක අවම කර දන්ත එනමලයෙන් බැක්ටීරියා ඉවත් කිරීමට ෆ්ලෝරයිඞ්වලට ඇති මනා හැකියාවයි.



උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »