Home / සෞඛය / කොන්දේ ආබාධ සුව කරන දේශීය ප්‍රතිකාර

කොන්දේ ආබාධ සුව කරන දේශීය ප්‍රතිකාර

2019-01-15 10:59:00       638
feature-top
කොන්දේ වේදනාවක්‌ ඇති විට අප බොහෝ දෙනා පවසන්නේ කොන්ද ඇදීමකට ලක්‌වෙලා කියා ය. කොඳු ඇට පෙළෙහි අස්‌ථි බිඳීමක්‌ සිදු නොවී ඇතිවන මෙවැනි ආබාධ නිසා ඇතැම් විට වසර ගණනාවක්‌ පීඩා විඳින්නට සිදුවේ.
 
 තමුන්ගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතු නිසි අයුරින් සිදුකර ගැනීමට නොහැකිවන අයුරින් ඇතිවන මෙවැනි කොන්දේ ආබාධ ඉතා ඉක්‌මනින් සුවපත් කරගත හැකි නම් එය රෝගියාට ලැබෙන විශාල සහනයකි. එබැවින් කොන්දේ අස්‌ථි බිඳීමකට ලක්‌ නොවී ඇතිවන අනතුරු සඳහා පැය තුනක්‌ වැනි කෙටි කාලයකින් ප්‍රතිකාර කර සුවපත් කරන වෛද්‍ය ක්‍රමයක්‌ පිළිබඳව අපි විමසා බලමු.
 
 වෛද්‍යතුමනි, කොන්දේ ආබාධ සඳහා ඔබ විසින් සිදුකරන සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අයත් එකක්‌ද?
 
 නැහැ...මෙය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක්‌ නෙමෙයි. මෙය දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකි. මෙම ප්‍රතිකාරය සිදුකරන්නේ කොඳු ඇට පෙළෙහි අස්‌ථිවල කිසියම් වෙනස්‌කමක්‌ ඇති වූ අවස්‌ථාවන් සඳහායි. ඒ සඳහා මා උදාහරණයක්‌ දක්‌වන්නම්. මෑතකදී මාගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණියා අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 75 ක පුද්ගලයෙක්‌. ටී. ගුණසේන නමැති එම රෝගියාට ඇවිදින්න බැහැ. හිටගෙන ඉන්න බැහැ. ශරීරයේ චලනවලදී දැඩි වේදනාවක්‌ හටගන්නා බව පැවසුවා.
 
 මේ තත්ත්වයට ඔහු පත්ව තිබුණේ මීට වසර තුනකට පමණ පෙරදී ඔහු අම්බලන්ගොඩ නගරයේ ඇවිදගෙන යන විට ත්‍රිරෝද රථයක හැපීම නිසා බව පැවසුවා. ඔහු ත්‍රිරෝද රථයේ හැපී බිම වැටෙන්න යන විට වහාම ත්‍රිරෝද රථය අල්ලාගෙන බිම වැටෙන්න යන අවස්‌ථාව වළක්‌වාගෙන තිබෙනවා. එහිදී ඔහුගේ ශරීරය ඇඹරුනා වගේ වූ බව සඳහන් කළා. කොඳුඇට පෙළ ගැස්‌සුනා වගේ වී වේදනාවක්‌ හටගත් බව පැවසුවා.
 
 පසුව ගෙදර ඇවිත් කොන්ද උණු ජලයෙන් තවලා වාත තෙල් ගෑවාලු. සති ගණනක්‌ ගියත් ගුණයක්‌ නැති නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු වී තිබෙනවා.
 
 ඔහුගේ දියණිය බටහිර වෛද්‍යවරියක්‌ නිසා එම වෛද්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවී තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ සැත්කමක්‌ කළ යුතු යෑයි කියාය. රෝගියාගේ වයස අනුවත්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් අධික බව පවතින නිසාත් සැත්කමකට යැමට බිය වී තිබෙනවා.
 
 මාවෙත පැමිණි පසු මා රෝගියා පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී හඳුනාගත්තා ඔහුගේ කොඳුඇට පෙළෙහි කඨී කශේරුකාවල (ඛ 3-ඛ4) (ඛ 4-ඛ5) (ඛ 5-ඛ6) යන කශේරුකාවල අන්තර් කශේරුකා මඬලෙහි වෙනසක්‌ ඇති වී තිබෙන බව.
 
 ඔහුට තදබල වේදනාව ඇතිවන්නේ වෙනස්‌ වී ඇති අන්තර් කශේරුකා මඬල නිසා ස්‌නායු පද්ධතියට සිදුවන තෙරපීමයි.
 
 මෙවැනි ආබාධ අපගේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවපත් කළ හැකියි. ඒ අනුව ඔහුව සුවපත් කළා.
 
 වෛද්‍යතුමනි, මෙම වෛද්‍ය ප්‍රතිකාරය සිදුකරන ආකාරය කෙසේද?
 
 පළමුව අප රෝගියාව ඇඳක මුනින් අතට හරවා ආබාධය පවතින කොඳුඇට පෙළෙහි අදාළ ස්‌ථානයේ ඖෂධීය තෙල් වර්ග තුනක්‌ ආලේප කරනවා. එම තෙල් වර්ග ආලේප කළ විට පළමුව සිසිල් බවක්‌ දැනෙනවා. ටික වේලාවකින් රස්‌නයක්‌ ඇතිවෙනවා. ඒ සමගම දැවිල්ලක්‌ ද රෝගියාට හටගන්නවා. රස්‌නය සහ දැවිල්ල ක්‍රමයෙන් වර්ධනය වී ඉන්පසු එක මට්‌ටමකට පැමිණ අඩුවීමට පටන් ගනී. එවිට දැතේ මහපට ඇඟිලි දෙකින් සහ විශේෂ ලී උපකරණ යොදාගෙන කොඳුඇට පෙළෙහි මතුව ඇති වෙනස්‌කම් නිවැරදි කරනවා.
 
 පැය තුනක්‌ වැනි කාලයකින් රෝගියා සුවපත් කළ හැකියි. ඖෂධීය තෙල් නිසා කොඳු ඇට පෙළෙහි අස්‌ථි බන්ධනී ලිහිල් වෙනවා. ඒනිසා ඉතා පහසුවෙන් ප්‍රතිකාරය සිදු කළ හැකියි.
 
 වෛද්‍යතුමනි, කොඳු ඇට පෙළ බිඳීමකට ලක්‌ වූ රෝගීන්ට මෙමඟින් ප්‍රතිකාර කළ නොහැකිද?
 
 බැහැ...අනතුරකින් කොඳුඇට පෙළ බිඳීමකට ලක්‌ වූ අවස්‌ථා සඳහා මෙම ප්‍රතිකාරය යොදාගන්න බැහැ. ඒනිසා මෙය කැඩුම් බිඳුම් ප්‍රතිකාර ක්‍රමයක්‌ නෙමෙයි.
 
 ඒ වගේම තමයි අපගේ වෛද්‍ය පරම්පරාව කුෂ්ට රෝග සහ අර්ශස්‌ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂ දක්‍ෂතා ඇති අයයි. මගේ පියා බොරැල්ල රජයේ ආයුර්වේද රෝහලේ කුෂ්ඨ රෝග සහ අර්ශස්‌ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ කෙනෙක්‌. ඔහු මියයන තුරුම එම වෛද්‍ය වෘත්තියේ යෙදුණා.
 
 වෛද්‍යතුමනි, ඔබ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයෙන් පසු රෝගියාට යළි සාමාන්‍ය කටයුතුවල යෙදීමට කොපමණ කාලයක්‌ ගතවෙනවාද?
 
 සතියක්‌ පමණ යනතුරු අධික බරක්‌ ඉසිලීම, ත්‍රිරෝද රථ වැනි ගැස්‌සෙන වාහනවල ගමන් කිරීම සුදුසු නැහැ. නමුත් තමාගේ සාමාන්‍ය කටයුතු ප්‍රතිකාර කළ මොහොතේ පටන් සිදු කළ හැකියි. මොකද අපි ප්‍රතිකාරවලින් පසු රෝගියාගේ කොන්ද නැවීම, දිගහැරීම, ඇවිදීම ආදී සියලු ඉරියව් පරීක්‍ෂාවට ලක්‌කර බලනවා.
 
 වෛද්‍යතුමනි, මෙම ප්‍රතිකාරය ඕනෑම වයසක කෙනකුට සිදුකළ හැකිද?
 
 ළමුන්, තරුණයන්, වැඩිහිටියන්, කාන්තාවන්, පිරිමින් කියා කිසිදු වෙනසක්‌ නැතිව සිදුකළ හැකියි.
 
 දියවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධි රුධිර පීඩනය ඇති අයට වුවත් මෙම ප්‍රතිකාරය සිදුකළ හැකියි.
 
 ආයුර්වේද වෛද්‍ය ජයන්ත එදිරිසිංහ
 අංක 39
 කොටහේන වෛද්‍ය මධ්‍යස්‌ථානය
 කොටහේන

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »