Home / සෞඛය / අපේ මුතුන් මිත්තන් බෝවන රෝග ජයගත් හැටි

අපේ මුතුන් මිත්තන් බෝවන රෝග ජයගත් හැටි

2020-04-20 06:34:00       1032
feature-top
සතුට සපිරුණු නැවුම් පැතුම් රැගෙන පැමිණෙන බක් මාසය උදාවෙලා. එහෙත් වෙනදා මෙන් නොව අද අපේ සිත්වලට සතුට වෙනුවට ළඟා වී ඇත්තේ භීතියයි. ලෝකයම වෙලා ගෙන මිනිස් ජීවිත දස දහස් ගණනින් බිලි ගනිමින් තිබෙනා කොරෝනා වෛරසය දැන් අපේ රටටත් ඇවිත්. කොයි මොහොතේ අපේ සමීපතමයකුට, හිතවතකුට මේ වෛරසය වැලඳේදෝයි සැකයකින් සිත් පිරී ගිහින්.

ඒ නිසාම වෙන කවරදාකටත් වඩා වැඩි වැඩියෙන් විසබීජහරණය වන්නට, වඩාත් හොඳින් අත් පා දෝවනයට වැඩි අවධානයක් යොමු වෙලා. වර්තමානයේ මේ විසබීජහරණය ගැන වරින් වර මාධ්‍ය හරහා ඔබව දැනුවත් කරන්නට සිදුවෙලා. එහෙත් අපේ රටේ විසූ අපේ මුතුන් මිත්තන් අතර නම් ඉතා දිගු කාලයක් පුරාවට විසබීජ හරණය නමැති ක්‍රියාව පැවතුණු බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියි. ලෝකය පුරා මේ වෛරසය පැතිරී යාමත් සමඟ එය බෝවීමේ සීග්‍රතාව දෙස බැලූ බොහෝ වෛද්‍යවරුන්, විද්‍යාඥයින් එයින් වැලකෙන්නට යෝජනා කර ඇති බොහෝ සෞඛ්‍යාරක්ෂිත පුරුදු අපේ අතීතයේ සිට මේ සමාජයේ පැවැති ඒවා වීම විටෙක පුදුම සහගතයි.

අතට අත දී, සිප වැලඳගෙන ආචාර කරනවා වෙනුවට අප ආචාර කරන්නනේ දෑත් එක්කොට ආයුබෝවන් කියායි.

 

නිරෝධායනය

 

එසේම මෙවැනි වෛරස රෝග වැලඳුණු පසු එයින් තව කෙනෙකුට බෝවීම වැලැක්වීමට නම් ඒ රෝගියා සහ පවුලේ අය වෙන්ව ජීවත් විය යුතු වනවා. අතීතයේ අපේ රටේ මේ නිරෝධාන ක්‍රියාවලිය පැවතියේ ් ඉතාමත් විශිෂ්ට ආකාරයටයි. විශේෂයෙන් බෝවන රෝගයක් පැතිරීගෙන යන විට පුරා දෙසතියක් එනම් දින 14ක් විසබීජ පැතිරීම වැළැක්වීමට ඔවුන් ක්‍රියා කළේ එය දෙයියන්ගේ ලෙඩක් ලෙස සලකමින්. අද දවසේ කවුරුත් කතා බහ කරන මේ නිරෝධානයනය ඔවුන් කළේ සත් පත්තිනි බැල්ම ලැබිය යුතු බව පවසමිනි.

වර්තමානයේ බෝවන රෝගියකු නිවෙසේ සිටීම සඟවා තැබීමට තරම් වූ කාරණාවක් ලෙස සැලකූවත් අපේ පැරැණි ජන සමාජයේ දී එය කිසිසේත්ම සඟවා තබා ගන්නා කරුණක් වූයේ නැත. අතීතයේදී අපේ මුතුන් මිත්තන් නිවෙසේ දෙයියන්ගේ කාමරය ලෙස තරමක විශාල කාමරයක් තනා තිබුණේ මෙවැනි අවස්ථාවකට ප්‍රයෝජනයට ගන්නටය. එය අඳුරු කාමරය ලෙසත් හැඳින්වීය. මෙවැනි රෝගියකු හඳුනාගත් වහාම රෝගියා දෙයියන්ගේ කාමරයට කොටු කරයි. එයට කොහොඹ කොළ සහ වෙනත් ඖෂධීය කොළ වර්ග ද එයට එක් කරන්නේ විසබීජ හරණය පිණිසය.

එසේම නිවෙසේ මෙවැනි දෙවියන්ගේ ලෙඩක් හැදුණු කෙනකු සිටින බවත් මේ නිවෙසට නොඑන ලෙසත් අසල් වැසියන්ට, නැතිනම්ෙ පිටස්තරයෙන් පැමිණෙන කෙනකුට දැන ගැනීම පිණිස නිවෙසේ කඩුල්ලට ඉහළින් (වත්තට ඇතුළුවන ස්ථානය) ගොක් අත්තක් සවි කරන්නට කටයුතු කළා. එයින් අදහස් කළේ මේ රෝගය අසල් වැසියන්ගෙන් සමාජයට බෝවීම වැළැක්වීමටයි.

ඒ සමඟම ඉතා වැදගත් නිරෝධායන පිළිවෙතක් ලෙස නිවෙස ඉදිරිපස දොරටුව (ගේ දොරකඩ) අසල සහ පිටුපස දොරටුව (පිළිකන්න/පෑල දොරකඩ) අසල යන නිවෙසට ඇතුළුවන ස්ථාන දෙකෙහිම විසබීජ හරණ බඳුන් තැබීමට කටයුතු කළා. එම බඳුන හැඳුන්වූයේ පාදිය බඳුන ලෙසිනුයි. මෙය අද අපටත් පහසුවෙන් සකසාගත හැකි අතර එයින් විසබීජ වලින් ආරක්ෂා විය හැකිය.

 

පාදිය බඳුන

 

මේ සඳහා යොදා ගත්තේ මැටි කොරහක්, තරමක් විශාල අප්පල්ලයක් (කට ලොකු විශාල මැටි බඳුනක්), සෙම්බුවක්, මුට්ටියක් හෝ පහසුවෙන් ජලය රැඳවිය හැකි භාජනයක්. ඉන්පසු එසේ තෝරාගත් භාජනයට පිරිසුදු ජලය පුරවනවා. අමු දෙහි ගෙඩි කිහිපයක් ගෙන ඒවා කැබැලි වලට කපා දෙහි යුෂ සමඟ එම කැබැලි මේ භාජනයට දමනවා. ඊට අමතරව අමු කහ කැබැලි කිහිපයක්ද කොස් දර අඟුරු ටිකක්ද යහමින් පොඩි කරගත් කොහොඹ කොළද මේ පාදිය බඳුනට එකතු කරනවා. දැන් මේ පාදිය බඳුන සූදානම්. රෝගියා සිටින නිවෙසින් කිසියම් කෙනෙක් බැහැරට යනවා නම් හෝ බාහිරින් කිසිවෙක් මේ නිවෙසට එන්නේ නම් මේ පාදිය බඳුනෙන් අතපය දොවා විසබීජහරණය කරගැනීම ජන සම්මත සිරිතයි. ( අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙසේ සාමාජිකයින් වැඩි වශයෙන් බැහැරට නොයාමටත් ඔවුන් වගබලා ගත්තා. )

බෝවන රෝගී උවදුර නිවෙසින් බැහැර වී තවත් සතියක් පමණ කාලයක් ගතවන තුරු (රෝගය සුවවූ පසුවත් ) මේ පාදිය බඳුන නිවෙසේ තැබීම අපේ මුතුන් මිත්තන්ගේ සිරිතයි. මෙහිදී පාදිය බඳුන භාවිත කරන ප්‍රමාණය අනුව

 

උදේ, දහවල, සවස මේ බඳුනට දමන සම්මත ඔසු සහ ජලය අලුත් කරමින් සෑම කෙනකුටම අත්පා දොවා ගත හැකි ලෙස මේ පාදිය බඳුන් යොදා ගැනීම පිළිගත් සම්මතයයි. වසංගත සහ බෝවන රෝගී අවස්ථාවල මෙන්ම මළ ගෙදරක දීද මේ පාදිය බඳුන තැබීම සිදුවූ අතර, පසුකාලීනව සාම්ප්‍රදායික දැනුම නියෝජනය කරනා බොහෝ දේ සමඟම මේ පාදිය බඳුනද අමතක කර දැමීමට අප කටයුතු කර තිබේ. නමුත් කාලයත් සමඟ යටපත්ව පැවැති අපේ ඒ හෙළ සම්ප්‍රදායයන් නැවතත් භාවිතයට ගත යුතු කාලය එළඹ තිබේ.

මේ වනවිට එදා අපේ හෙළයේ මුතුන් මිත්තන්ගේ පාරම්පරික වත් පිළිවෙත්, ආහාර පරිභෝජන පිළිවෙළ සහ භාවිත කළ කුළුබඩු, දේශීය ඔසු පිළිබඳව සහ ඒවායින් අපට ලැබුණු කාය ශක්තිය, ප්‍රතිශක්තිය ගැන මුළු ලෝකයාගේම අවධානය යොමුවී තිබීමෙන් මේවායෙහි ඇති වටිනාකම ගැන අවබෝධයක් ගත හැකිය.

උපදෙස් ජනශ්‍රැති පර්යේෂක සහ ලේඛක
මහින්ද කුමාර දළුපොත



More News »